Recent Articles

ළමා අපයෝජනය මොළෙත් අවුල් කරන හැටි!

ළමා අපයෝජනය පිළිබඳව අපි තවදුරටත් ගැඹුරින් සොයා බලමු. ජාතික ළමා රක්ෂණ අධිකාරියේ වාර්තාවන් සහ සංඛ්‍යා ලේඛනවලට අනුව 2014දී දරුවන් 10315ක්ද, 2015දී දරුවන් 10732ක්ද, 2016දී දරුවන් 10000ක් ද අපයෝජනයට ලක්වී ඇත. මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, රත්නපුර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලිනි.

කුඩා කල දරුවකු අපයෝජනය වීම නිසා ඔවුන් නොයෙකුත් මානසික රෝගවලට ගොදුරු වන බව පසුගිය ලිපියෙන් අප සොයාබලන ලදී. එසේ ගොදුරු විය හැකි මානසික රෝගී තත්ත්වයන් සහ ගැටලු නම් මානසික අවපීඩනය, මානසික ආතතිය, සමාජ භීතිකාව, ප්‍රචණ්ඩකාරී හැසිරීම, අධ්‍යාපනය බිඳ වැටීම සහ නොයෙකුත් පෞරැෂ භින්නතාවයන්ට ගොදුරු වීමයි. කුඩා කල අපයෝජනයට ලක්වන දරුවන්ගෙන් 80%ක් අවු. 21 වන විට කිසියම් ‍හෝ මානසික රෝගී තත්ත්වයකට ගොදුරු විය හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත.

මානසික, ශාරීරික හෝ ලිංගික අපයෝජනයට ලක්වන දරුවකු මෙසේ නොයෙකුත් පෞරුෂ ගැටලුවලට ගොදුරු වන්නේ ඇයිදැයි අපි තව දුරටත් සොයා බලමු. 

බොහෝ ජාත්‍යන්තර සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ අපයෝජනයට ලක්වන දරුවන්ගෙන් වාර්තා වන්නේ 10%ක් පමණ සංඛ්‍යාවක් බවයි. එනම් 90%ක් දරුවන් නොයෙකුත් ආකාරයට අපයෝජනය වී එය කාලයේ වැලිතලාව මත වැළලී යන බවයි. මීට හේතුව බොහෝ දෙනා තුළ ඇති විශ්වාස, ආකල්ප සහ බයයි. ලිංගිකව අපයෝජනයට ලක්වන දරුවකු ගැන බලමු. දෙමාපියන් බොහෝ විට මේ සිද්ධි පැමිණිලි ලෙස ඉදිරිපත් කරනුයේ පොලීසියටය. පොලීසිය තුළින් කරන විභාගයකදී මෙය මුළු ගමම දැනගනී. ඉන්පසු මෙම දරුවා ලිංගික අතවරයට පත්වූවකු ලෙස හංවඩු ගැසේ. මෙය එම දෙමාපියන්ට සහ දරැවාට දැඩි මානසික පීඩනයකි. ඒ සමඟම මෙම සිද්ධිය උසාවියක නඩු මගට ගියවිට දරුවා තවත් පීඩනයට ලක්වේ. ලිංගික අතවරයට ලක්වීමෙන් ඇතිවුණු පීඩනයට අමතරව සමාජය තුළින් ඇතිවන මෙම පීඩනය ද හේතු කොට ගෙන එම දරැවා සැබැවින්ම මානසික රෝගී තත්ත්වයකට ගොදුරු විය හැකිය. මෙවැනි අත්දැකීමකට ගොදුරු වූ එක් දරුවකුගේ පුංචි කතාවක් අධ්‍යයනය කර බලමු. අපි ඇයට උපුලි කියමු.

උපුලිගේ වයස අවු. 14යි. උපුලි 5 ශිෂ්‍යත්වය සමත් වී මාතර ප්‍රදේශයේ කුඩා පාසලක සිට කොළඹට  පැමිණ ප්‍රධාන පාසලකට ඇතුළු වී ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරමින් සතුටින් සිටි දැරියකි. කොළඹදී නැවතී සිටියේ ඇගේ පුංචි අම්මාගේ ගෙදරය. පුංචි අම්මාට ද දරුවන් දෙදෙනෙක් සිටියාය. ඔවුන් දෙදෙනා සමඟ ද උපුලි හිතවත්කමින් කෙළි කවටකමින් කාලය ගෙව්වාය. පුංචි අම්මා මේ අතර ඇයව ළඟම පිහිටි අමතර පංතියකට යොමු කළේ ඉංග්‍රී ඉගෙනගැනීමටය. මෙසේ පංතියට ටික කලක් යනවිට ඇයගේ හැසිරීම ද වෙනස් විය. මට තවත් ඉංග්‍රීසි පංතියට යන්න බෑ. කියා ඇය ඇඬුවාය. ඇයට නිතරම හිසේ කැක්කුමක් ද ඇතිවිය. නිතර තරහා යාමට පටන්ගත් උපුලී සමාජ ආශ්‍රය ද අඩු වී නිතරම කාමරයට වී කාලය ගත කළේය. පුංචි අම්මාගේ දරු දෙදෙනා සමඟ සෙල්ලම් කිරීම ද අඩු විය. කෑමට ඇති ආශාව මෙන්ම නින්ද යාමද අඩු විය. අවසාන වාර විභාගයේදී විෂයයන්ට ඉතා අඩු ලකුණු ලබාගෙන තිබුණි. උපුලිගේ මෙම වෙනස්වීම පිළිබඳව පුංචි අම්මා පුදුමයට පත් විය. ඉතා සතුටින් හොඳින් ඉගෙනගනිමින් සිටි මේ දරැවාට කුමක් සිදු වුණිදැයි සිතා අතිශයින්ම දුක් විය. මෙසේ මාස කීපයක් ගෙවී යනවිට උපුලි ඉංග්‍රීසි පන්ති ගිය ගුරුවරයාගේ බිරිඳ පුංචි අම්මාට කියූ කතාවෙන් ඇය පුදුමයට මෙන්ම කලබලයට පත්විය. එම ගුරැවරයාගේ බිරිඳ පවසා ඇත්තේ තවත් උපුලිව ඉංග්‍රීසි පන්තියට නොයවන ලෙසත් ඇගේ සැමියා නොයෙකුත් ලිංගික පින්තූර පරිගණකය ආශ්‍රයෙන් උපුලිට පෙන්වන බව ඇය දෑසින් දුටු බවත් තවත් දිනක් ඇය හදිසියේම පන්ති කාමරයට යනවිට තම සැමියා උපුලිගේ පියයුරු මෙන්ම රහස් ප්‍රදේශය ද අල්ලමින් සිටින බවත්ය. මින් අතිශයින්ම කලබලයට පත් උපුලිගේ පුංචි අම්මා ළඟම පොලීසියට ගොස් පැමිණිලි කළාය. ඉන්පසු පොලීසිය උපුලිගෙන් ද කටඋත්තර ලබාගෙන ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට ගත්තේය. මෙම සිද්ධිය උපුලිගේ නෑදෑයන් අතර මෙන්ම ඉගෙනගන්නා පාසැල අතර ද පැතිර ගියේය. ඉංග්‍රීසි ගුරුවරයාගේ ලිංගික අතවරය නිසා පීඩනයට පත්ව සිටි මේ දරුවාගේ පීඩනය තවත් වැඩි වී මානසික අවපීඩන තත්ත්වයට ගොදුරු වී ජීවිතය ද එපා වී ජීවිතය නැති කරගැනීමට තැත් කර රෝහල්ගත වීමට සිදුවූයේ අධිකරණ ක්‍රියාදාමය සිදුවන අතරතුරය.

මෙම සිද්ධිය අධ්‍යයනය කිරීමේදී අපට පෙනෙන්නේ මෙම පුංචි දරුවා එක් වරක් ලිංගික අතවරයටත් නීතිමය ක්‍රියාමාර්ගයට බැසීම නිසා දෙවැනි වරත් දැඩි මානසික අපයෝජනයට භාජනය වී ඇති බවය. මෙය අපේ රටේ සාමාන්‍යයෙන් ලිංගික අපයෝජනයට පත්වන දරැවකු අධිකරණ ක්‍රියාමාර්ගයට යොමු වනවිට ලබන අභාග්‍යයකි.

දරුවකු මානසික, ශාරීරික හෝ විශේෂයෙන් ලිංගික අපයෝජනයකදී ඔවුන්ගේ වේගයෙන් වර්ධනය වෙමින් පවතින මොළයේ ස්නායු පද්ධතියට හානි වන බව අති සියුම් ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙම සොයා ගැනීම් සඳහා ප්‍රධාන ස්කෑන් පරීක්ෂණ වර්ග තුනක් භාවිතා කරනු ලැබේ.

1. F.M.R.I - මෙම ස්කෑන් පරීක්ෂණයේදී මොළය තුළ රැධිරයේ ඔක්සිජන් සහ රැධිර ගමනාගමනය වෙනස් වන ආකාරය සියුම් ලෙස සොයාගත හැකිය.

2. D.T.I - මෙම ස්කෑන් පරීක්ෂණයේදී ස්නායු පද්ධතියේ සිදුවන නොයෙකුත් ව්‍යූහාත්මක වෙනස්කම් මැන බැලිය හැක.

3. E.R.P - මෙම ස්නායු පරීක්ෂනයේදී මොළය තුළ ස්නායු පද්ධතිය තුළ ඇතිවන නොයෙකුත් විද්‍යුත් ධාරාවන් මැන බැලිය හැක. එමෙන්ම පුද්ගලයකුගේ බුද්ධිමය පරිමාවන් ද මැන බැලිය හැක.

අපයෝජනයට ලත්වන දරුවකුගේ මොළය තුළ සිදුවන වෙනස්කම්

1. හිපොකැම්පස් කියන්නේ (Hippocampus) අපගේ මතක ධාරාවන් ගබඩා කරන සහ ඒවා පාලනය කරන මොළය තුළ ගැඹුරින් පිහිටා ඇති ඉතා කුඩා සංවේදී ඉන්ද්‍රියකි. F.M.R.I ස්කෑන් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ කුඩා කාලයේ අපයෝජනයට ලක්වන දරැවන් යම් දිනෙක වැඩිහිටියන් බවට පත් වූ විට මෙම හිපොකැම්පස් නැමති මධ්‍යස්ථානයේ පරිමාව අඩු වී එහි ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා මතක ශක්තිය සහ කල්පනා ශක්තිය අඩු වී නොයෙකුත් බුද්ධියේ ගැටලු ඇතිවන බවයි.

2. ඇමිග්ඩෙලා (Amygdala) කියන්නේ අප මොළයේ ඉතා ගැඹුරින් පිහිටි ඉතා කුඩා ඉන්ද්‍රියයක්. අපගේ භය, හැඟීම් පාලනය කිරීමට මෙම ඉන්ද්‍රිය අතිශයින් උපයෝගී වෙනවා. ළමා කාලයේ අපයෝජනයට ලක්වන දරුවන්ගේ මෙම ඉන්ද්‍රයේ ක්‍රියාකාරිත්වය වැඩි වී ක්ෂණිකව භයට පත්වන කලබලයට පත්වන හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි දරුවන් හෝ වැඩිහිටියන් බවට පත්වන බව සමීක්ෂණවලින් තහවුරු කර තිබේ.

3. අපගේ මොළයේ පූර්ව මස්තිශ්කයේ (නළලට ආසන්නයේ ඇති ලලාටකණ්ඩිකාව (prefrontal cortex) අපගේ මොළයේ විධායකය හෙවත් බුද්ධිමය කොටස ලෙස සොයාගෙන තිබේ. තීරණ ගැනීමට, ප්‍රශ්න විසඳාලීමට, හැඟීම් පාලනයට අවශ්‍ය ස්නායු පරිපථ මෙම ඉන්ද්‍රිය තුළ නිර්මාණය වන බව ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ කුඩා කල අපයෝජනයට පත්වන දරැවන්ගේ මෙම මධ්‍යස්ථානයේ පරිමාව අඩු වී බුද්ධිමත් හැකියාවන් හීන වී නොයෙකුත් පෞරැෂ ගැටලු ඇතිවිය හැකි බවය.

4. කෝපස් කැලෝසම් (Corpus Callosum) යනු මස්තිෂ්කයේ දකුණ සහ වම සම්බන්ධ කරන ස්නායු මධ්‍යස්ථානයයි. මොළයේ දකුණ සහ වම එකිනෙකට සම්බන්ධ කරමින් (හැඟීම්, සිතුවිලි ආදී සියලුම බුද්ධිමය හැකියාවන්) ඉතා සියුම් ලෙස අපිව පාලනය කරයි. ළමා කාලයේ අපයෝජනයට ලක්වන දරුවන්ගේ මෙම කෝපස් කැලෝසම් නමැති මධ්‍යස්ථානයට හානි වී එහි පරිමාව අඩු වී ක්‍රියාකාරීත්වය දුර්වල වන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත. මෙවැනි දරැවන් වැඩිහිටියන් වූ විට ඔවුන්ගේ බුද්ධිමය හැකියාවන් අඩු වී හැඟීම් පාලනය අපහසු වී නොයෙකුත් පෞරුෂ ගැටලුවලට ගොදුරු වේ.

හෙට රටේ අනාගතය අද ඔබේ දරුවාය. ඔහු සහ ඇය රැකගැනීම ඔබේ වගකීමයි.

-කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

දරුවන් ලිංගික අපයෝජනයෙන් බේරා ගනිමු.

වයස අවුරුදු 18ට අඩු නම් අපි ඔහු හෝ ඇය කියන්නෙ දරුවෙක් කියලා. ඉපදුණු දවසේ පටන් දරුවකුගෙ මොළය සහ ශරීරය ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. මෙසේ වර්ධනය වන මොළයට ඇතිවන පාරිසරික බලපෑම් මගින් එහි වර්ධනය අඩුවී දරුවා තුළ නොයෙකුත් චර්යාත්මක වෙනස්කම් ඇතිවී පෞරුෂයේ දුර්වලවීම් ඇතිවෙනවා. පාරිසරික බලපෑම් ලෙස අදහස් වන්නේ දරුවා මානසික, ශාරීරික හෝ ලිංගික අපයෝජනයට භාජනය වීමයි. දරුවන්ගෙන් 14%ක් පමණ නොයෙකුත් ආකාරයේ ලිංගික අපයෝජනයන්ට භාජනය වන අතර මින් 10%ක්ම සිදුවන්නේ ළඟම ඥාතීන් අතින්. ළඟම ඥාතීන් හැරුණුවිට අනෙකුත් අපයෝජකයන් වන්නේ අසල්වැසියන්. ඇත්තටම මෙය ගොදුරක් කීවොත් හරි. ඔබ දැකල තියෙනවද කොටියෙක් මුවෙක් පැහැරගන්නා ආකාරය. මෙය ක්ෂණිකව සිදුවන්නක් නොවේ. ගොදුර ගන්නට පෙර මෙය ඉතා හොඳින් සැලසුම් කරනවා. මෙය අවධි කිහිපයකින් යුක්ත බව සමීක්ෂණවලින් තහවුරු කරල තිබෙනවා. කුඩා දරුවකු ලිංගික අපයෝජනයකට ගොදුරු කරගන්නා ආකාරය පහත සඳහන් අවස්ථාවලින් නිරූපණය වෙනවා.

1. පළමු අවධිය - සූක්ෂම ලෙස දරුවා සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගැනීම.

උදා: කන්න ආස කරන දේවල් ගෙනත් දීම, ආසා කරන නොයෙකුත් දේවල් ගෙනත් දීම.

2. දෙවැනි අවධිය - සියුම් ලෙස ලිංගික සබඳතාවයක් ගොඩනගාගැනීම.

උදා: අතපතගෑම, වඩාගැනීම, සිපගැනීම, ක්‍රමානුකූලව ලිංගික අවයව ස්පර්ශ කිරීම.

3. තුන්වැනි අවධිය - රහස්‍යභාවය රැකීමට දරුවා පොළඹවාගැනීම.

මෙහිදී නොයෙකුත් ආකාරයට දරුවා බය කරනු ලබයි.
උදා: ඔහු සමඟ තරහ වන බව, නැත්නම් මරණ බව, කුඩාම දරුවකු නම් ආසා කරන දේ ගෙනත් නොදෙන බව පැවසීම.

4. හතරවැනි අවධිය - රහස එළිවීම.

බොහෝවිට මෙවැනි සම්බන්ධතාවයක් එළිවනුයේ හිටි හැටියේය. මෙය බොහෝවිට සිදුවනුයේ ළඟම ඥාතියකු හෝ ගෙදර සිටින්නකු මේ සිද්ධිය දැකීමෙනි.

5. පස්වැනි අවධිය - යටපත් කිරීම.

මෙහිදී ඇතිවන ආන්දෝලනය රහසක් ලෙස තබාගැනීමට බොහෝවිට මුළු පවුලම එකතු වේ. බොහෝ මව්පියන් මෙම සිද්ධිය එළිවීමෙන් තම පවුලට සිදුවිය හැකි චෝදනාවන් සහ අපවාදයන් වළක්වාගැනීමට තවදුරටත් රහසක් ලෙස තබාගැනීමට යොමුවේ. බොහෝ දරුවන් බිය නිසාම මෙය රහසක් ලෙස තබාගනී. නමුත් යම් දිනෙක මෙසේ කුඩා කල අපයෝජනයට ලක්වන දරුවකු වැඩිහිටියකු ලෙස සමාජයට පිවිසීමේදී ඔවුන්ගේ පෞරැෂය තුළින් එහි අතුරු විපාක හොඳින් දැකීමට පුළුවන් වේ.

කුඩා අවධියේ අපයෝජනය වන දරුවන්ගෙන් 80%ක් යම් දිනෙක ඔවුන් අවුරුදු 21 වයසට එළඹෙන විට යම් ආකාරයක මානසික රෝගයකට ගොදුරු විය හැකි බව නූතන සමීක්ෂණවලින් තහවුරු කර ඇත. මින් අදහස් වනුයේ අද අපයෝජනයට ගොදුරු වන දරුවා හෙට දින වැඩිහිටියකු ලෙස අසාර්ථක ජීවිතයකට මුහුණදීමයි. 

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

ඒඩ්ස් රෝගය ගැන මිත්‍යා මත ගොඩායි!

ඒඩ්ස් රෝගය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වන්නේ ලිංගික සම්බන්ධතාවලදී ය (යෝනි තරල හා ශුක්‍ර තරල මඟින්) මීට අමතරව ආසාදිත රුධිරය තැවරුණු සිරින්ජ, ඉඳිකටු වැනි තියුණු උපකරණ නැවත භාවිතයේ දී, රුධිර පාරවිලයනයේ දී හෝ ආසාදිත මවකට දාව සිදුවන දරු උපතකදී එම දරුවාට ඒඩ්ස් රෝගය ශරීර ගත විය හැක. එමෙන්ම ආසාදිත මවකගේ මව් කිරිවලද මෙම වෛරසය පැවතිය හැකිය. 

මෙහිදී සිදුවන්නේ එම වෛරසය අඩංගු දේහ තරලයක් තවත් පුද්ගලයෙකුගේ ශ්ලේෂ්මල පටල සමඟ මිශ්‍ර වී, සමේ තුවාල වූ ස්ථානයකින් ඇතුල් වී හෝ සෘජුවම රුධිර ගත වීමෙන් එම පුද්ගලයා ආසාදිත තත්වයට පත් වීමයි.  රුධිරය, ශුක්‍රාණු තරලය, යෝනි මර්ග තරලය සහ මව් කිරිවල මෙම වෛරසය අන්තර්ගත වන නමුත් ඛේටය, කඳුලු, දහදියහි අන්තර්ගත නොවේ. 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයෝද ඒඩ්ස් වැළඳීමේ අවදානමක පසුවෙති. අසාදිත පුද්ගලයකුගේ රුධිරය අඩංගු තියුණු උපකරණයක් මඟින් සිදුවන හදිසි අනතුරක දී වෛරසය ශරීර ගත විය හැක. තවද ආසාදිත රුධිරය ඇස්වලට ඉසීමෙන්ද මෙය සිදුවිය හැක. නමුත් නිසි පරිදි ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් අනුගමනය සහ සැළකිළිමත් වීම මඟින් මෙම අනතුරැ පහසුවෙන් වළක්වා ගත හැක. 

අතට අතදීම, වැසිකිළි භාවිතය, පිඟන් කෝප්ප ආදිය හවුලේ භාවිතය වැනි එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු කිසිවකදී රෝගය වැළඳීමේ කිසිදු අවදානමක් නොමැත.  ආසාදිත රැධිරය මිශ්‍ර නොවූ ඛේටය, කඳුළු, දහදිය හෝ මළ මුත්‍රා මඟින් ද, මදුරුවන් වැනි රුධිරය උරා බොන කෘමීන් මඟින්ද, කිවිසුම් මඟින් වාතයෙන් ද ඒඩ්ස් රෝගය වැළදීමේ කිසිදු අවදානමක් නොමැත. තවද, සිප වැළඳ ගැනීමෙන් ඒඩ්ස් රෝගය බෝ නොවන අතර ආසාදිත පුද්ගලයාගේ මුඛයේ තුවාල පවතී නම් හෝ විදුරුමස් වලින් රැධිර වහනය වේ නම් පමණක් සිප ගැනීමේදී වෛරසය ආසාදනය විය හැකිය. 

නවීන විලාසිතාවන් අතර ප්‍රමුඛ ස්ථානයක පවතින පච්ච කෙටීම් වලදී රෝග ව්‍යාප්තිය සිදුවිය හැක. එහිදී භාවිතා කරන උපකරණ නැවත නැවතත් භාවිතයෙන් හෝ නිසි පරිදි ජීවානුහරණය නොකිරීමෙන් ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුට ශරීර ගත විය හැක. නිසි පරිදි ජීවානුහරණයෙන් හෝ සෑම අවස්ථාවකදීම අලුත් උපකරණ භාවිතයෙන් රෝග ව්‍යාප්තිය අවම කර ගත හැක. 

ආසාදිත පුද්ගලයෙක් මඟින් ඔබව පහුරු ගෑමකට ලක් වුවහොත් ඔබට රෝගය වැළඳේ ද?  

නැත. එහිදී ඔහුගේ රුධිරය මිශ්‍රවීමක් සිදු නොවන නිසා රෝගය ආසාදනයේ හැකියාවක් නොමැත.

ඒඩ්ස් රෝගියෙකු ආහාරයට ගන්නා ලද ආහාරයක ඉතිරිය අනුභවයෙන්ද රෝගය වැළඳීමේ අවකාශයක් නොමැත.  එම ආහාරයේ ආසාදිත රැධිරය යම් ප්‍රමාණයක් අඩංගු විය හැකි වුවද, ආහාර මාර්ගයේ දී ආමාශයික යුෂය මඟින්  වෛරසය විනාශ කිරීම සිදු වේ.

 ඒඩ්ස් මර්දන පුවත්

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

ලිංගික උත්තේජක ඖෂධ ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ 09ක්.


විනෝදය ආශ්වාදය පුද්ගලයා සතු මානුෂික අවශ්‍යතාවයකි. නමුත් එවැනි කෙටි කාලීන වින්දනයක් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුවහොත් එය කොතරම් ඛේදනීයද ? අප කතාබහ දිග හැරෙනුයේ ලිංගික උත්තේජක ඖෂධ හිතුමතේ භාවිත නොකළ යුතු පණිවුඩය සමාජගත කිරීමටය. 

ලිංගික උත්තේජක ඖෂධයන්ට ලොව පුරා විශාල ඉල්ලුමක් ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේ එවැනි ඖෂධ ගැනීමෙන් ලිංගිකව එක් වන කාලසීමාව වැඩිකර ගත හැකි මිත්‍යාව මුල්බැස ගැනීමය. විද්‍යාත්මකව පෙන්වා දෙන්නේ, නිරෝගී පුද්ගලයකුට ලිංගිකව සක්‍රිය විය හැකි කාල සීමාව ඉතාම සීමා සහිතය. කුමන ඖධෂයක් භාවිතා කළ ද ලිංගික කාර්යයෙහි නිරත වන කාලය වැඩිකර ගත හැකිය යන කරුණු සත්‍ය නොවෙයි.

ලිංගික උත්තේජක ඖෂධ නිර්දේශ කිරීමට, වෛද්‍යවරුන්ට ඇතැම් අවස්ථා වලදී සිදුවන අතර එය හුදෙක් රෝගී පුද්ගලයාගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සිදු කෙරේ. විශේෂයෙන් දියවැඩියාව හෝ වෙනත් බෝ නොවන රෝගයකින් දීර්ඝ කාලීනව පීඩා විඳින රෝගීන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අඩපණ වන බැවින්,  එම රෝගීන්ට ලිංගික සක්‍රීයතාවක් ඇති කිරීමට උත්තේජක ඖෂධ වෛද්‍යවරු නිර්දේශ කරති.

භාවිතා කළ යුතු ලිංගික උත්තේජක ඖෂධ සහ මාත්‍රාව වෛද්‍යවරයා තීරණය කරන්නේ රෝගියාගේ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමිනි. එසේ ලිංගික උත්තේජක දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් පවා ශරීරයට හානි සිදුවෙයි. 

ලිංගික ඖෂධ ගැනීමෙන් අතුරු ආබාධ

ලිංගික ඖෂධ භාවිතයෙන් ශරීරයේ රුධිර සැපැයුම කාර්යක්ෂම, වේගවත්ව සහ ක්‍රමවත්ම සිදු වෙයි. එහිදී රුධිර පීඩනය ඉහළ යෑමක් සිදුවෙයි. රුධිර පීඩනය ඉහළ යෑම සිරුරට අහිතකරය. 

1. අංශභංග තත්ත්වයක් හට ගැනීම,
2. හෘදයාබාධ හටගැනීම,
3. චර්ම ආසාදන,
4. නින්ද නොයෑම,
5. හිසරදය,
6. වමනය,
7. බඩදැවිල්ල,
8. ඇස් රතුවීම,
9. පෙනීම අපැහැදිලි වීම වැනි ලක්ෂණ දැකිය හැකි වෙයි. 

ලිංගික ඖෂධ නොගත යුතු පිරිස් වන්නේ, 

1.  දිනපතා යම් රෝගී තත්ත්වයක් වෙනුවෙන් ඖෂධ භාවිත කරන්නන්.
2. වයස අවුරුදු 18 අඩු නව යොවුන් දරුවන් සහ වයස අවුරුදු 70 වැඩි වැඩිහිටියන්.
3. මානසික ආතතිය හෝ වෙනත් මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන්නන්.
4. ගර්භනී සමයේ පසුවන්නන්.
5. මෑතදී ශල්‍ය කර්මවලට ලක්වූවන් ය. 

වර්තමානයේ හිතුමතේ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයෙන් වසරක ට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් වාර්තා වේ. මෙම සියලු මරණවලට හේතුව හෘදයාබාධ කියා ප්‍රසිද්ධ වන බැවින්, මෙවැනි  ඖෂධයන්හි භයානක කම ගැන සමාජගත වීමට සෘජු බාධාවක් වී තිබේ.

උත්තේජක ඖෂධ ලිංගික උත්තේජනය සඳහා පමණක් භාවිත කරන බව සිතුව ද, ශරීර වර්ධනය උත්තේජනය කර ගැනීමට ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට (ස්නායු ආබාධයන්ගෙන් පෙළෙන්නන්ට) වයස්ගතව ශරීර හෝමෝන ශක්තිය හීන වී යන්නන්ට ද ශරීර පද්ධතිය යළි සක්‍රීය කිරීමට ද ප්‍රයෝජනවත් වෙයි. එසේ ලිංගික උත්තේජන ලබා දෙන්නේ වෛද්‍ය නිර්දේශ ඇතුවය. 

 [උපදෙස් - එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න] 

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

නව යොවුන් දැරියන්ගේ ගැටලු නොවන ගැටලු!

නව යෞවන වයසට එළැඹෙන තරුණ දරුවන්ට තම ශරීරයේ සිදුවන ඉතා සුළු වෙ නස්කම් පවා මහ විසල් ගැටලු සේ පෙනෙන්නට ඉඩ තිබේ. ළමා සහ තරුණ අවදිවල මායිමේ පසුවන මේ අයට මෙවැනි වික්ෂිප්ත බවක් ඇතිවීමට රුධිරයේ හෝමෝන මට්ටම් වල වෙනස්වීම් හේතුවෙයි. එසේම ශරීරයේ මතුවන මේ අලුත් ලක්ෂණ පිළිගැනීමේදී ඇතිවන මානසික ගැටලුද මෙයට හේතුවිය හැක.

මේ වයසේ දැරිවියකට තමන්ගේ පියයුරු යුගලයේ එකකට එකක් විශාල වශයෙන් වෙනස්ව තිබෙන බව දැකිය හැක. “මගේ පියයුරු වලින් එකක් ලොකුයි, අනික හුඟක්ම පුංචියි“ මෙවැනි මැසිවිලි ඒ අයගෙන් ඉදිරිපත්වීමට පිළිවන.

සාමාන්‍යයෙන් සෑම කාන්තාවකගේම පියයුරු යුගලම එක හා සමාන නැත. ඒ දෙක අතර ඉතා සුළු වෙනස්කමක් දැකිය හැක. නමුත් එය කෙසේවත් ගැටලුකාරී තත්ත්වයක් නොවේ. මේ වයස ගෙවී යනවාත් සමග ඒ සිතුවිලි සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි.

එසේම සමේ මතුවන කුඩා කුරුලෑවක්, පෙනුමට විශාල හානියක් ගෙන එන බව මේ අයට දැනිය හැක. එය විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්කරගෙන මාපියන්ට මැසිවිලි ඉදිරිපත් කළ හැකිය. මේ ආකාරයට සමේ හටගන්නා කුඩා අවපැහැවීමක්, රෝම කීපයක් පවා දිවි එපා කරවන තරමේ ගැටලුවක් බවට පත්කරගැනීමට පිළිවන. එසේම තමන්ගේ ශරීරය අවලක්ෂණ වන ආකාරයට තරබාරු වේය යන බිය මතුවිය හැකිය.

එබැවින් මේ කාලයේ දරුවා තුළ හටගන්න මේ මානසික වික්ෂිප්ත බව යහමින් තේරුම් ගෙන ඉවසීමෙන් කටයුතු කිරීමට විශේෂයෙන් මව්වරුන් දැනුවත්ව සිටිය යුතුමය. එසේම ඒ ගැටලු වලට සාවදානව කන්දී සැබෑ තත්ත්වය තේරුම් කරදීම හෝ වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරු ක්‍රියාවකි.

උපදෙස් : ගම්‍පොල මූලික රෝහ‍ලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත ජයලත් 
සාකච්ඡා කළා : නිර්මලා කුමාරි සේනාරත්න

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

හැන්දෑවේ : ගැබ්ගෙල පිළිකාව කලින් හදුනාගන්න [Video]


ලෝකය පුරා කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ පාන රෝගයක් වන ගැබ්ගෙල පිළිකාව, වැක්සීන් කිරීම මගින් හෝ පැප් පරීක්ෂාවක් කිරීම මගින් සම්පූර්ණයෙන්ම වලක්වා ගැනීමට හෝ කලින් හඳුනා ගැනීමට හැකියාව ඇත.ඔබත් අදම ඔබේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබාගන්න.



මේ සම්බන්ධයෙන් අශාන්ති විසින් නිර්මාණය කළ ගීතය...


This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

සූරිච් නුවර ප්‍රසිද්ධ ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ යුරෝපය පුරා ව්‍යාප්ත කිරීමට පියවර.


ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරට 2013 වසරේ හඳුන්වා දුන් ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ ලෙස හඳුන්වන ගෙදර යනගමන් ගණිකා සේවය සැලසීමේ ක්‍රමය වසර 5 ක ඇවෑමෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එය බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයකට ව්‍යාප්ත කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් ලිංගික ශ්‍රමිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබේ.

මෙම ක්‍රමය ක්‍රියාත්මක කර ඇත්තේ වීදි ගණිකාවන්ගේ සේවය ලබාගැනීමේ වඩාත් සුරක්ෂිත හා පහසු ක්‍රමවේදයක් ලෙසිනි.

සූරිච් නගරයේ විශේෂ ආරක්ෂාව සපයා ඇති මාර්ග කිහිපයක පිහිටුවා ඇති මෙම බූත් පෙළින් එකකට ගණිකා ඇසුර අවශ්‍ය අයට පැමිණ සිය වාහනය නවතා තැබිය හැකි අතර ඒ අවස්ථාවේ සැපයුම්කාර ස්ත්‍රීන් තෝරාගැනීමට හැකියාව ලැබේ.

ඔවුන් සමග එම ස්ථානයේදී හෝ පිටතදී ගණිකා ඇසුර පැවැත්වීමට අවශ්‍ය පහසුකම සලසා ඇත. මෙම ස්ථාන වල සේවය සලසන ගණිකාවන් සිය සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර සමාජ රෝග නැති බවට රජය ලබාදෙන සහතික ලබාගත යුතුය. බාහිරින් ලබාදී ඇති ආරක්ෂාව නිසා වීදි ගණිකාවන් ගැණුම් කරුවන් සමග ඇතිවන ආරවුල් අවම බවද පැවසේ.

මෙම ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ ක්‍රමය සූරිච් නගරයේ ජනප්‍රිය වීමත් සමග යුරෝපය පුරා එබඳු ස්ථාන ව්‍යාප්ත කිරීමේ හැකියාව ගැන මේ වනවිට කරුණු ඉදිරිපත්ව ඇත.

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

යුවතියන්ගේ ආර්තවය සම්බන්ධ ගැටලු...


නව යෞවන වයස්වල පසුවන දැරිවියන්ට බලපාන සෞඛ්‍ය ගැටලු අතර ඔසප්වීම හා සම්බන්ධ ඒවා රාශියකි. අනාගතයේ දරුවෙකු දරා සිටීමට, ගර්භාෂය සූදානම් වීමක් නිසා සිදුවන මුල්ම ආර්තවයසේම ඒ හා සම්බන්ධ සමාජයේ පවතින පිළිගැනීම්, මිථ්‍යා මතද අපමණය. අනාගතයේ මව්වරුන් වීමට පෙරුම් පුරණ මේ යෞවනියන් සේම ඒ අයගේ දෙමාපිය වැඩිහිටියන් පෙළෙන මේ ගැටලුවලට හේතු සේම ඒ සඳහා ගත හැකි නිවැරදි පියවර ගැන සාකච්ඡා කිරීම අතිශයින්  කාලෝචිතය.

මේ කාලයේ මතුවන ගැටලු අතර මුල්ම ඔසප් වීම, හෙවත් වැඩිවිය පැමිණීම ප්‍රමාද වීම සුලභව දැකිය හැක්කකි. සාමාන්‍යයෙන් දැරිවියක් වයස අවුරුදු 14 පමණ වනවිට වැඩිවියට පැමිණිය යුතුය. නමුත් එක් එක් අයගේ ජාන බලපෑමට අනුව එය වසර කීපයක්  එහා මෙහා වන්නට පිළිවන. උදාහරණයක් ලෙස මව වැඩිවියට පැමිණියේ වයස අවුරුදු  15 දී පමණ නම් ඇගේ දියණියන්ද  එම කාලවකවානුවේ  වැඩිවියට පැමිණීම සිදුවිය හැකිය.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 14 පමණ වනවිට දැරිවියකගේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළවේ. එනම් කිහිලි, ලිංගික ප්‍රදේශවැනි තැන් මත රෝම වර්ධනය වීම, පියයුරු මෝරා වැඩීම එවැනි ලක්ෂණයන්ය. දැරිවියක තුළ මේ ආකාරයට ද්විතියික ලිංගික ලක්ෂණ මතුව තිබේ නම් වයස අවුරුදු 16 පමණ වනතුරු ඔසප්වීම බලා‍පොරොත්තු විය හැකිය. නමුත් වයස  අවුරුදු 14 පමණ වනතුරුත් ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වී නොමැතිනම් ඒ ගැන වෛද්‍ය උපදෙස් පැතීමට යොමු විය යුතුය. එවිට ඒ හා සම්බන්ධ කිසියම් ගැටලුවක්  වේ නම් අවශ්‍ය ප්‍රතිකාර විධි ආරම්භ කළ හැකිවේ.

එසේම තරුණ දැරිවියන් මුල් ඔසප්වීමෙන් අනතුරුව මාස දෙක තුකට වරක් ඔසප් සිදුවිය හැක.

එසේම එක ළඟ ඔසප් වීම් කිහිපයක් සිදු වීමටද පිළිවන. මේ සියලු තත්ත්ව මුල් කාලයේදී සාමාන්‍ය ලෙස සැලකේ. ඩිම්බ පිටවීම, මේරීම ආදී කටයුතු පාලනය වන්නේ පිටියුටරි ග්‍රන්ථියේ බලපෑම හරහාය. නොමේරූ ඩිම්බ නිසා මේ ආකාරයෙන් ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවක් මතුවිය හැක. නමුත් එය  ඔසප් චක්‍රය ආරම්භ වූ මුල් කාලයේදී නම් ගැටලුවක් නොවේ.

එසේම  ඔසප්වීම හරහා පිටවන රුධිරය අධිකවීමද ගැටලුකාරී තත්ත්වයකි. නමුත්  සැබෑවටම එය අධික ලෙස රුධිරය පිටවීමක්දැයි නිසැකයෙන් දැන ගැනීම වැදගත්වේ. සාමාන්‍යයෙන් ඔසප් වීමක් දින 3-8 දක්වා පමණ පැවැතිය හැක.  නමුත් දින 8 කටත් වඩා  ඔසප් වීමක් පවතියි නම් වෛද්‍ය උපදෙස්වලට යොමුවීම යෝග්‍ය වෙයි. එසේම   එකී දිනක් තුළ හොඳටම තෙමුණු සනීපාරක්ෂක තුවා 5ට වඩා මාරු කිරීමට සිදුවුවහෙත් එය අධික රුධිර පිටවීමක් සේ ගිනිය හැක. එවැනි අවස්ථාවක් නිසැකයෙන්ම අධික රුධිර වහනයක් ලෙස හඳුනාගත හැකිය. එසේම මේ ආකාරයට අධික ලෙස ඔසප් රුධිරය පිටවේ නම් එය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයකි. එලෙස අධික  ලෙස ඔසප් රුධිරය පිටවීම නිසා ඇඟ සුදුමැළි වීම, ක්ලාන්තය දක්වා දුරදිග යා හැකිය. එය නීරක්තියට ගොඳුරු වීමට සෘජුවම බලපෑ හැකිය. එබැවින්  අධික ලෙස ඔසප්  රුධිරය පිටවීමකදී වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම  ඉතා වැදගත් වේ.

එසේම ඔසප් කාලයේ ඇතිවන හිසරදය, උදරයේ වේදනවා, සාමාන්‍ය තත්ත්වයකි. මෙය බොහෝ තරුණ කතුන්ට බලපාන සාමාන්‍ය තත්ත්වයකි. නමුත් ඔසප් ආරම්භ වීමට දින කීපයකටම පෙර සිට මෙවැනි අපහසුතා  තදබල ලෙස ඉස්මතු වේ නම් සේම ඒ අපහසුතා ඔසප් නිම වූ පසුද දැනේ නම් එය කිසියම් රෝගී තත්ත්වයක් ගැන ඉඟියක් විය හැකිය.
සාමාන්‍යයෙන්   තත්ත්වයේදී දැනෙන අපහසුතා ජානමය උරුමයක් ලෙසද සැලකිය හැක. මවට මෙවැනි අපහසුතා තිබේ නම් ඇගේ දියණියන්ටද මේ තත්ත්වය උරුම විය හැකිය.

එසේම සමහර තරුණ දැරිවියන්ට ඔසප්වීම් දෙකක් අතරතුරු සුළු රධිර පිටවීම් ඇතිවිය හැකිය. සමහර විට රැකියාවේ ගැටලු, පෙම් සබඳතා නිසා හට ගන්නා  සිත් රිදවීම් වැනි දේ වන මානසික තත්ත්වයන්ගේ වෙනස් වීම්. මෙවැනි රුධිර වහනයන්ට හේතු විය හැකිය.  එය එතරම් ගැටලු සහගත තත්ත්වයක් නම් නොවේ.

සාකච්ඡා කළා - නිර්මලා කුමාරි සේනාරත්න
උපදෙස් ගම්‍පොළ ශික්ෂණ රෝහ‍ලේ නාරි සහ ප්‍රසව රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වසන්ත ජයලත්

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

ගැබිනි සමයේ දෙන විටමින් වර්ග මවටත් දරුවාටත් එකසේ වැදගත්.


විවාහපත් යුවළකගේ මීළඟ සිහිනය ඉක්මනින්ම මා පියන් බවට පත්වීමය. ඒ සිහිනය සැබෑ වූ බව දැනගත් දිනයේ පටන් ඇය පවුල් සෞඛ්‍ය සේවිකාවගේ මගපෙන්වීම අනුව දරුවාගේත් මවගේත් ආරක්ෂාව හා වර්ධනය සඳහා විවිධ විටමින් වර්ග ලබාගැනීමට පෙළඹේ. කුඩා කාලයේ සිට ආහාරයට ගැනීමට අකමැති වූ ආහාර වර්ග පවා ඇය ගැබිනි සමයේදී ආහාරයට එක්කර ගන්නේ ‍පෝෂණීය දරුවෙක් මෙලොවට බිහි කරගැනීමේ අරමුණිනි. කුසයේ වැඩෙන කලලයේ වර්ධනය වෙනුවෙන් වෛද්‍යවරු විවිධ විටමින් වර්ග මෙන්ම ‍පෝලික් ඇසිඩ් ලබා ගන්නා ලෙස නියමකරති. අද අපි කතා කරන්නේ කුසේ වර්ධනය වන දරුවාගේ ‍පෝෂණය වෙනුවෙන් ගත යුතු ‍පෝලික් ඇසිඩ් හා කැල්සියම් හා යකඩ යන විටමින් වර්ග පිළිබඳවයි.

‍පෝලික් ඇසිඩ් කියන්නේ සාමාන්‍යයෙන් ජලයේ දියවෙන විටමින් වර්ගයකි. අප ලබා ගන්නා සාමාන්‍ය ආහාරවල මෙම විටමිනය තිබේ. නමුත් ගර්භණී සමයේ මවට සහ දරුවාගේ ‍පෝෂණයට ආහාරවලින් ලබාගන්නා ‍පෝලික් ඇසිඩ් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නැත. කාන්තාවන් ගැබ්ගත් පසු ඇගේ ශරීරයේ ෙසෙල බෙදීමේ වර්ධනයක් දැකිය හැකිය. මේ නිසා කුසයේ වැඩෙන දරුවාගේ වර්ධනයට කෑමෙන් පමණක් ලැබෙන ‍පෝලික් ඇසිඩ් ප්‍රමාණවත් නොවන අතර ‍පෝලික් ඇසිඩ් අමතරව ලබාගත යුතුය.

කාන්තාවක් ගැබ් ගැනීමට අපේක්ෂා කරන මාස තුනකට පෙර ‍පෝලික් ඇසිඩ් ගත යුතුවේ. ‍පෝලික් ඇසිඩ් ලබාගැනීමෙන් දරුවාගේ වර්ධනය සහ විකසනය නිසි පරිදි සිදුවෙයි. ‍පෝලික් ඇසිඩ් පෙත්තක සාමාන්‍යයෙන් මයික්‍රෝ ග්‍රෑම් 400ක් අඩංගුය. ගර්භණී මවක් සාමාන්‍යයෙන් ‍පෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් 1ක පෙත්තක් ලබා ගත යුතුය. නමුත් දියවැඩියාව, අපස්මාරය වැනි සමහර සංකූලතා ඇති දුර්වල මව්වරුන් ‍පෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් 5ක් ෙදෙනිකව ලබාගැනීම අවශ්‍යයයි.

ගර්භණී මව ‍පෝලික් ඇසිඩ් ලබා ගත යුත්තේ ඉපදීමට සිටින දරුවා රෝගී තත්ත්වයෙන් මුදවා ගැනීමට සහ දරුවාගේ මොළය සහ සුෂුම්නාව ආශ්‍රිතව ඇතිවිය හැකි දරුණු සංකූලතා පහසුවෙන් වළක්වා ගැනීම සඳහාය.

දරු ගැබට සති 12ක් වෙන තුරු මෙම ‍පෝලික් ඇසිඩ් ලබාගත යුතු වන අතර සති 12න් පසු වෙනත් විටමින් වර්ග ලබා ගැනීමටත් වෛද්‍යවරු නිර්දේශ කරති. යකඩ, කැල්සියම් පෙති දරු ගැබට සති 12 වූ පසු ලබාගත
යුතු අතර යකඩ පෙතිවල ‍පෝලික් ඇස්ඩ් ප්‍රමාණයක් ඇත. මේ නිසා ‍පෝලික් අම්ලය අඩංගු යකඩ පෙති වර්ගයක් ගන්නා විට වෙනම ‍පෝලික් ඇසිඩ් පෙති ගැනීම අවශ්‍ය නොවේ.

එසේම මවගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවූ විට යකඩ ලබාදෙයි. කෙසේ නමුත් හිමොග්ලොබින් ප්‍රමාණය විශාල වශයෙන් අඩුනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය මත යකඩ පෙති එකකට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය. එමෙන්ම මවගේ හා දරුවාගේ අස්ථි ශක්තිමත් වීම සඳහා කැල්සියම් විටමිනය ලබාදෙයි.

මේ නිසා ගර්භණී අවදියේදී ලබාදෙන මෙම විටමින් වර්ග වලින් මවට හා දරුවාට ලැබෙන ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක පවතී. නියමිත ආකාරයට නියමිත වෙලාවට විටමින් වර්ග ලබා ගැනීම ගර්භණී කාලයේ මවකට ඉතා වැදගත්වූවක් බව මතකයේ තබා ගැනීම වැදගත්ය.

[ප්‍රසව හා නාරිවේද  විශේෂඥ වෛද්‍ය  චාමින්ද මාතොට - ප්‍රසාදිකා ජයවර්ධන]

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

ප්‍රසූතියෙන් පසුව ව්‍යාකූල සිත් ඇති කරන මානසික රෝග.

   
මවක් දස මසක් කුස දරා හිඳ මේ ලොවට දරුවෙකු බිහිකරන්නේ අසීමිත වූ වේදනාවකිනි. එකී දරු ප්‍රසූතියේ පූර්ව හා පශ්චාත් අවධිය තුළ ඇතිවන නොයෙකුත් ආසාදනයන් හා මානසික කම්පනයන් නිසා සමාජයේ කාන්තාවන් බහුලව විවිධාකාරයේ ගැටලු රැසකට මුහුණ දේ. ඇතැම් විට පවුල තුළින් පවා සහයෝගයක් නොලද ඇය ඇතැම් අවස්ථාවල ව්‍යාකූල ස්වභාවයකින් පවා හැසිරෙන අවස්ථා තිබේ. එම නිසා ප්‍රසූතියෙන් පසුව ඇතිවන තත්ත්වයන් පිළිබඳ අප දැන සිටීම අත්‍යවශ්‍ය කාරණාවකි. ඒ පිළිබද සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු. ඔහු ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි. 

කාන්තාවන්ට විශේෂිත වූ මානසික රෝග තත්ත්වයන් ප්‍රධාන වශයෙන් ත්‍රිත්වයක් හදුනාගන්න පුළුවන්. විශේෂයෙන් දරු ප්‍රසූතියේදී ඇතිවන මානසික රෝග දරු ප්‍රසූතියක් නොමැතිව සෑදෙන මානසික රෝගවලට බොහෝ විට සමානකමක් දක්වනවා. එහිදී පශ්චාත් ප්‍රසව අවධියේ ඇති වන මානසික රෝග පිළිබඳ විශේෂයෙන් අවධාරණය කළ යුතුයි. 

එයින් අදහස් කරන්නේ දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන නොයෙක් මානසික රෝගී තත්ත්වයන් පිළිබදවයි. ඒ වර්ග යටතේ කාන්තාවන්ට වැලඳෙන්නා වූ මානසික රෝග කිහිපයක් හඳුනා ගැනීමට පුළුවන්. 

පශ්චාත් ප්‍රසව විෂාද තත්ත්වය (postpartum depression)

කාන්තාවන්ගෙන් දරු ප්‍රසූතියෙන් පසුව 10%ක වැනි ප්‍රතිශතයකට මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා. එය මුළු ලෝකයම මුහුණපාන්නා වූ දෙයක්. එය ශ්‍රී ලංකාවේ කාන්තාවන් පමණක් මුහුණදෙන දෙයක් නොවේ. එකී රෝගී තත්ත්වය ඇතී වීම පිළිබඳව විශේෂඥයින් විසින් විවිධ හේතූ කාරණා සහා උපකල්පන දක්වා තිබෙනවා. මෙය ඇති වීමට බලපාන එක් කාරණාවක් වන්නේ, මෙම රෝගී තත්ත්වය ඇති වීමේ පාත්‍රභාවයක් (Genetic)තමන්ගේ පවුල් ඉතිහාසයේ තිබෙනවා නම් එම කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වීම සුලබ බවයි. 

එමෙන්ම අනෙක් හේතූකාරකය ලෙස දක්වන්නේ ඇතැම් අවස්ථාවල තමන්ගේ ශරීරයේ ක්ෂණිකව ඇති වන හෝමෝන වෙනස්කම්. එනම් දරු ප්‍රසූතියත් සමගම වැදෑමහ කියන අවයවය ඇගෙන් එළියට එනවා. මෙය ශරීරය අභ්‍යන්තරයේදී දරුගැබ පවත්වාගෙන යෑම සඳහා විශාල හෝමෝන ප්‍රමාණයක් නිපදවනවා. වැදෑමහ ඉවත් වීමත් සමග මෙයින් නිපදවන අතිවිශාල හෝමෝන ප්‍රමාණයක් තිබෙන පරිසරය හෝමොන රහිත පරිසරයක් බවට පත් වන බැවින් ශරීරයේ හෝමෝනවල ක්ෂණික අවපාතයක් ඇති වෙනවා. මෙයත් සමග මොළයට දැනෙන හෝමොන ආතතිය නිසා මෙකී මානසික රෝගී තත්ත්වය ඇති වන්නට පුළුවනි. මේ තුළින් කාන්තාවට පීඩාකාරී ආතතිතයක් ඇති කරවනවා. කාන්තාවන් මෙයට ස්වභාවයෙන් ලක් වීමේදී ඇතැම් කාන්තාවන් ඒ අවස්ථාවේදී ඇති වන පීඩාකාරී තත්ත්වය තුළ විෂාදයට ලක්වෙන්න පුළුවන්. 

විෂාද තත්ත්වයේ රෝග ලක්ෂණ

සමාන්‍ය ජීවිතයේදී ඇතිවන විෂාද තත්ත්වයේ සමාන රෝග ලක්ෂණ මෙම තත්ත්වය තුළද දැකගන්න පුළුවන්. කලකිරීම, එපා වීම, වැඩ කිරීමේ අපහසුව, පණ නැති ගතිය, ශාරීරික වශයෙන් දුබල භාවයක් දැනීම, සතුටක් නොදැනීම හා තමන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති කෙනෙක් ආදී වශයෙන් සෘණාත්මක සිතුවිලි ඇතිවීම ඒ තුළ දැකගන්න පුළුවන්. 

එම හේතු නිසා සියදිවි හානි කර ගැනීමේ අදහස් හා දරුවාට හානි කිරීමේ අදහස් ඇති වෙන්න පුළුවන්. ඇත්තෙන්ම කලාතුරකින් මෙකී තත්ත්වයට පත් වුවත් අප එය ඉතාම අවදානම් කාලයක් ලෙසයි දකින්නේ. ප්‍රසූතියෙන් පසුව දින කිහිපයක් යන තුරු වේදනාකාරී තත්ත්වයක් තිබෙන නිසා මෙවැනි රෝග ඇති විය හැකි නමුදු මෙවැනි රෝගී තත්ත්වයන් ගැන දැනගැනීමෙන් ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යයි.

මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර නොකර සිටීමෙන් මව හා දරුවා අතර පවතින මානසික බැඳීම අතිශයින් දුර්වල වෙන්න පුළුවන්. දරුවාගේ මානසික සෞඛ්‍යට, මානසික වර්ධනයට මෙය බලපාන්න පුළුවන්. ඒ වගේම එය මවගේ අනාගතයට වගේම දරුවාගේ අනාගතයටත් ඉතාම බරපතළ ලෙසින් බලපාන දෙයක්. 

කාර්යක්ෂම ප්‍රතිකාර ක්‍රම සඳහා  යොමු වීම

මෙකී විෂාද තත්ත්වය හඳුනාගනිමින් ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා කාර්යක්ෂම ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. මේ සඳහා ඖෂධ භාවිත කරන්න පුළුවන්. මෙම ඖෂධ භාවිත කළත් එයින් මවුකිරි ලබාදීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මවුකිරි ලබාදෙන නිසා මවට දෙනු ලබන්නේ ආරක්ෂාකාරී ඖෂධයි. ඔවුන්ගේ සෞඛ්‍යට අහිතකර බලපෑමක් එක්කරන ඖෂධ වෛද්‍යවරුන් කිසිසේත් නිර්දේශ කරන්නේ නැහැ. 
නමුත් විෂාද තත්ත්වය අතිශයින්ම දරුණු ලෙස තිබෙනවා නම්, සුව වෙන්න කල් මදි නම්, අවදානම් වැඩිනම් විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය අනුගමනය කරනවා. ඖෂධ භාවිත කිරීම තුළ රෝග ලක්ෂණ තුළ අඩු වීමක් පෙන්නුම් කරන්නේ නැතිනම් අපි ඒ රෝගියාව විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය (Electro convulsive therapy) සඳහා යොමු කරනවා. ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වන තරමට මෙහි අවදානම වැඩි වීම හා දරුවාගේ වර්ධනයට බලපානවා. 

මොකද මෙවැනි තත්ත්වයක් තුළ ළදරුවාට කිරි දීම මගහැරෙනවා. ඒ වගේම දරුවාව බලා ගැනීමේ කාර්ය වුවත් සිදුකිරීමේ අපහසුතා ඇති වෙනවා. ඒ නිසා ඉතා ඉක්මන් ප්‍රතිකාර අපේක්ෂාවෙන් විද්‍යුත් කම්පන ප්‍රතිකාර සිදුකරනවා. ඒවා ඇත්තෙන්ම අතිශයින් සාර්ථකයි. ඇතැම් කාන්තාවන් මෙම ප්‍රතිකාරය සඳහා යොමු වීමේ බියක් පෙන්වනවා. නමුත් එලෙස බිය විය යුතු නැහැ. මෙම ක්‍රමය ඉතා සුලබව භාවිතාකරන ඉතා ආරක්ෂාකාරී ප්‍රතිකාර ක්‍රමයක්. එයින් මොළයට හෝ ශරීරියට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. 

විනඩි තුනක් හෝ හතරක පමණ කාලයක් නිර්වින්දනය කර තබා පසුව මෙම විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය ලබාදීම සිදුකරනවා. මේ සඳහා නිර්වින්දන වෛද්‍යවරයෙකු සහාභාගි වන අතර, එහිදී පරිගණකයක් වැනි උපකරණයක් භාවිතයෙන් පාලනය කළ හැකි විද්‍යුත් කම්පනයක් ලබාදීම සිදුකරනවා. 

මෙම ද්විත්ව ක්‍රමයම විෂාද තත්ත්වයකදී රෝගී කාන්තාව සුව කිරීම සඳහා භාවිත කරන අතර ඊට අමතරව මෙවන් රෝගී අවස්ථාවකදී කාන්තාවකට අනිවාර්යෙන්ම පවුලේ සහයෝගය අත්‍යවශ්‍යයයි. ලාංකේය සංස්කෘතියට අනුව විස්තෘත පවුලේ සහයෝගය අනිවාර්යෙන් දරුවෙකු ප්‍රසූත කිරීමේදී මවට හිමි වෙනවා. මෙවන් තත්ත්වයකදී දරුවගේ හා තමන්ගේ වැඩකටයුතු තනිවම සිදුකිරීමට අපහසු බව පවුලේ අය දැනගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කමින් මවට අපවාද, චෝදනා නැගීම පවුලේ අනෙකුත් සමාජිකයින් විසින් සිදුකරනවා. ඒ නිසා පවුලක් වශයෙන්, සමාජයක් වශයෙන් ඔවුන් දැනගත යුතුයි මේ අවස්ථාවේ සංවේදීව ක්‍රියාත්මක වී මවට සහයෝගය ලබා දෙන්න. 

අපේ සංස්කෘතිය තුළ නම් මේ කාරණාව දැනගත් පසුව බොහෝ දුරට සහයෝගයක් ලැබෙනවා. නැන්දම්මා ලේලිය අතර ගැටුම් හා පරම්පරා මත ගැටුම් ඇති වන අවස්ථාද නැත්තේ නොවේ. අද පවසන දේ නෙමෙයි විද්‍යාවෙන් හෙට කියන්නේ. එය කාලයත් සමග වෙනස් වෙනවා. ආච්චිලාගේ පරම්පරාවේ දැනුමයි දැන් සිටින මවුවරුන්ගේ දැනුමයි ඇත්තෙන්ම වෙනසක් තිබෙනවා. ඒ නිසා ඒ ගැටලුත් මෙවැනි අවස්ථාවල ඇති වෙන්න පුළුවන්. ඒවත් මගහැරගනිමින් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් ඒ අවස්ථාවේ ප්‍රතිකාර ලබා දීම හා උපදෙස් පැතීමයි සිදුකළ යුත්තේ. 

මේ සඳහා නිවස ආසන්නයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය නිලධාරියෙක් හමු වෙන්න පුළුවන්. ඔවුන්ට මේ සඳහා පුහුණුවක් ලබාදී තිබෙන නිසා ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කරනවා. නමුත් විෂාද තත්ත්වය ඇතැම් විට ප්‍රසූතියෙන් මුල් සති දෙක තුනේ ඇති නොවන අවස්ථාද තිබෙනවා. පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දරුවා ලැබුණු මුල් අවස්ථාවේ මව පිළිබඳ වැඩි උනන්දුවක් අවධානයක් යොමු කරයි. නමුත් ඉන් පසු කාලයේ මෙම රෝගී තත්ත්වය මතු විය හැකි නිසා පවුල් සෞඛ්‍ය නිලධාරිනියටද රෝගී තත්ත්වය හඳුනාගැනීමට අවස්ථාවක් උදා වන්නේ නැහැ. දරුවා හා මව සුවෙන් සිටී නම් මසකට වරක් පමණක් ඇතැම් විට පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ අධීක්ෂණයට යොමු වෙන්න පුළුවන්. ඇතැම් විට දරු ප්‍රසූතියෙන් මාසයක් පමණ කාලයක් ගිය පසු විෂාද තත්ත්වය ඇති වෙනවා. නමුත් මෙය නිවැරදිව හඳුනාගනිමින් පවුලේ සහයෝගය මධ්‍යයේ නියමිත ඖෂධ ලබාගත් විට මෙම රෝගී තත්ත්වය සුව කරන්න පුළුවන්. එමෙන්ම දිර්ඝකාලීනව ඇතිවන ප්‍රතිඵල අවම කර ගැනීමටද පුළුවන්. 

ඉතාම කලාතුරකින් වගේ මවකට දරු ප්‍රසූති කිහිපයක් තුළ මෙම මානසික රෝගී තත්ත්වය නැවත නැවත ඇති වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා පළමු දරු ප්‍රසූතියේදී මෙම රෝගයට පිළියම් කර සුවය ලබා සිටියත් ඊළඟ දරු ප්‍රසූතියේදීද මේ පිළිබඳ අවදානමෙන් සිටින්නට අවශ්‍යයි. 

පශ්චාත් ප්‍රසව සයිකෝසියාව (Post Partum Psychosis)

භින්නෝන්මාදයට සමාන රෝගී තත්ත්වයක් ලෙසින් මෙය ඇති වෙන්න පුළුවන්. එහිදී විෂාදය මෙන් නොව ඊට වඩා හිතන පතන ක්‍රමය වෙනස් වී සැක හිතන, බය හිතෙන එක, අසාමාන්‍ය සිතුවිලි ඇති වීම, මෝහනය වගේ ලක්ෂණයක් මෙම රෝගයේදී දැකගන්න පුළුවන්. මෙම තත්ත්වයන් දරු ප්‍රසූතියෙන් දින කිහිපයක් තුළ මතු වෙන්න පුළුවන්. එමෙන්ම මෙම රෝගී තත්ත්වය දරු ප්‍රසූතියෙන් පසු 0.5෴ක් වැනි කාන්තා ප්‍රතිශතයකට හැදෙන බව වාර්තා  අනුව පෙන්නුම් කරනවා. වෛද්‍යවරයකු රෝගියාව පරීක්ෂා කළ පසුව ඖෂධ ප්‍රතිකාර ගැනීමට නියම කරන අතර, විෂාද තත්ත්වය තුළ ඇති වූ අවදානම් තත්ත්වය මෙම රෝගය තුළද ඒ ලෙසින්ම පවතිනවා. මෙයින් ඇති වන ව්‍යාකූල සිතුවිලි මත දරුවාගේ ජීවිතයට මෙන්ම තමාගේ ජීවිතයට හානි කර ගැනීමට මව තැත්කරනවා. එවැනි තත්ත්වයන් කලාතුරකින් සිදුවුවත් රෝහල්වල පිහිටා තිබෙන මවු ළදරු ඒකකවලට යොමු කරනවා. එහිදී මව සහ ළදරුවා යන දෙදෙනාම එකට බලා ගන්නා තැනක්. එවැනි ඒකකයක් දැනට අංගොඩ මානසික රෝහලේ ස්ථාපිත කර තිබෙන අතර, එහි වෙන් කළ කාමර තිබෙනවා. හෙදියන්ගේ නිරන්තර නිරීක්ෂණයට මොවුන් ලක්වෙනවා. මෙහි නවාතැන් පහසුකම් තිබෙන්නේ පවුලේ සමාජිකයෙකුට, මවට හා දරුවට පමණයි. එයින් ඉතාම උසස් මට්ටමේ සේවයක් ඇත්තෙන්ම මේ වන විටත් සැලසෙනවා. එහිදීද ඖෂධ ප්‍රතිකාර හා විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. 

අාසාදන තත්ත්ව ෙහ්තුෙවන් ඇතිවන ඩිලිරියම් (Delirium)

මේ  රෝග අවස්ථා දෙක ඇරුණු විට කලාතුරකින් ආසාදන තත්ත්වයන් නිසා ඇති වන ඩිලිරියම් (Delirium). එනම් ප්‍රසූතියෙන් පසු ගර්භාෂයේ හෝ සැත්කමෙන් පසු උදරයේ ඇති වන ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදීද මානසික ව්‍යාකූලතාවක් ඇති වෙන්න පුළුවන්. එවිටද මානසික තත්ත්වය වෙනස් වීම, බය වීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මව ශාරීරික වෙනස් ලක්ෂණයක් පෙන්නුම් කරනවා නම් (උදරයේ වේදනාව, සුදුමැලි වුණ) එමෙන්ම මානසික ව්‍යාකූලත්වයක් තිබෙනවා නම් වහාම වෛද්‍යවරයෙකුට යොමු කළ යුතුයි. එසේ නොකළහොත් මෙම අසාදන තත්ත්වයන් වැඩි වී  ජීවිතයට අවදානමක් ඇති විය හැකියි. වෛද්‍යවරු වුවත් සැත්කම් හා දරු ප්‍රසූත අවස්ථා සඳහා ජීවානුහරණය කළ භාණ්ඩ භාවිතා කරන නිසා අසාදන ඇතිවී මානසික රෝගී තත්ත්වයන් ඇති වීම ඉතාම අඩුයි. 

මේ මානසික රෝග තුන කාන්තාවකට දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන දරුණුම තත්ත්වයන්. මෙයට අමතරව දරු ප්‍රසූතියෙන් පසුව ඕනෑම මවකට සුළු ආතතියක් පීඩාවක් ඇති වෙන්න පුළුවන්. එහිදී සමාන්‍ය මානසිකත්වයේ තාවකාලික වෙනසක් අපි එහි හඳුනා ගන්නවා. එය අප %Post Part of the Blue^ යන නමින් හඳුන්වනවා. එය ඇති වන වේලාවන් නිශ්චිතව කියන්න බැහැ. දවසේ සෑම වේලාවකම එම තත්ත්වය දැකගන්නත් බැහැ. එය සමාන්‍යයෙන් පළමු දින 10 ඇතුළත ඇතැම් විට සුව වෙනවා. මෙය දරුණු ලෙඩක් හෝ අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. දරු ප්‍රසූතියෙන් පසුව මවුවරුන්ගෙන් 50%ක් - 70%ක් අතර, ප්‍රමාණයක් එම තත්ත්වයට පත් වී තිබෙනවා. මෙයින් විෂාදය, පශ්චාත් ප්‍රසව සයිකෝසියාව වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් මේ පිළිබඳ පවුලේ මෙන්ම සැමගේම අවධානයට ලක් වෙන්න අවශ්‍යයි. මෙම රෝගය ඇති වීම තුළින් නින්ද යෑමේ රටාව වෙනස් වෙනවා. සාමාන්‍ය නින්ද යෑමේ රටාව නම් දරු ප්‍රසූතියෙන් පසුව අධික වෙහෙස හා කිරි දීමට ඇති අවශ්‍යතාව නිසා ළදරුවා නිදා ගන්නා විට ඒ සමගම මවත් නින්දට යන්න ඕන. එය තමයි ස්වභාවිකව වන සංසිද්ධිය. නමුත් පශ්චාත් ප්‍රසව සයිකෝසියාව වැනි තත්ත්වයන් ඇති වන අවස්ථාවල ස්වභාවික නින්ද අස්වාභාවික වෙනවා. එසේ වූ විට මවට දවස් තුන හතර නින්ද යන්නේ නැහැ. එමෙන්ම නිතර නිතර කේන්ති ගන්නවා. වෙනදට වඩා වෙනස් ලෙසකින් හැසිරීම ආදී ලක්ෂණයන් තිබෙනවා නම් මුල් අවධියේම අවධානයෙන් සිටීම වැදගත්. 

මේ ආකාරයට හඳුනාගත හැකි පශ්චාත් ප්‍රසව මානසික රෝගී තත්ත්වයන් කාන්තාවන්ට වැලඳෙන එක් මානසික රෝගී ප්‍රභේදයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. 

[මනෝ ෙෙවද්‍ය ආචාර්ය ජයමාල් ද සිල්වා | ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය]

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

අලුත උපන් දරුවා යක්ෂයෙක් වෙලා...


දරුවකු ලැබීම මවකට තිබෙන සිහිනයකි. එම දරුවා රැකබලා ගැනීම, හොඳ අධ්‍යාපනයක් දීම, හොඳ ගති ගුණ ඔහු තුළට ඇතුළු කිරීම එම සිහිනයේ තවත් කොටසක්. මෙම සිහිනය තුළට යාමට මවක් යහපත් මානසික හා ශාරීරික සෞඛ්‍යයකින් හෙබි විය යුතුයි. ගමේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගර්භනී කාලය තුළ පසුවන මවකට අවශ්‍ය පෝෂණය, ශරීරයේ බර, එන්නත් කිරීම් යනාදිය පිළිබඳ හොඳ දැනුමක් ලබා දෙයි. නමුත් මේ දැනුමට මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුම් කාණ්ඩය ඇතුළත් වෙන්නේ නෑ. දරු ප්‍රසූතියෙන් පසු මවක් සාමාන්‍යයෙන් ප්‍රධාන මානසික ගැටලු තුනකට මුහුණ දෙන්න පුළුවන්.

1. ප්‍රසූතියෙන් පසු ඇති වන දැඩි ආතතිය
(Postpartum blues)
2. ප්‍රසූතියෙන් පසු ඇතිවන දැඩි මානසික අවපීඩනය
(Postpartum Depression)
3. ප්‍රසූතියෙන් පසු ඇතිවන සයිකෝසියාව
(Postpartum Psychosis)
ප්‍රසූතියෙන් පසු ඇතිවන දැඩි ආතතිය
(Postpartum blues)

ඕනෑම මවක් දරු ප්‍රසූතියෙන් පසු යම් ආකාරයක ආතතියකට ගොදුරැ වේ. මව්වරු 100ක් ගතහොත් 80ක් මේ තත්ත්වයට ගොදුරු වන බව වෛද්‍යවරැ පවසනවා. මෙය අසනීප හෝ රෝගී තත්ත්වයක් නොවේ. ප්‍රසූතියෙන් පසු ඇතිවන විඩාව මෙන්ම මවගේ ආකල්ප ද මෙයට බලපාන්න පුළුවන්. මේ ලක්ෂණ මොනවාදැයි අපි බලමු.

නින්ද නොයාම හෝ කෑම අරුචිය.
අධික තෙහෙට්ටුව හෝ වැඩ කිරීමට ඇති අපහසුව.
කිසිම හේතුවක් නැතිව ඇඬීම.
තමාට දරුවා බලාගැනීමට අපහසු යැයි සිතීම.

මීට ප්‍රධානම හේතුව ලෙස සොයාගෙන ඇත්තේ දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන හෝමෝනවල වෙනස් වීමයි. ගර්භාෂය තුළ ඇති වැදෑමහ ශරීරයෙන් ගැලවීමත් සමඟ ක්ෂණිකව ඊස්ට්‍රජන් (Estrogen) පොජෙස්ටරෝන් (Progesterone) සහ එන්ඩොෆින් (Endorphin) යන හෝමෝනවල අසමතුලිතතාවයන් ඇති වේ. මවගේ ශරීරය තුළ මෙම හෝමෝන නැවත යථා තත්ත්වයට පත්වීමට මාස 6ක පමණ කාලයක් ගතවේ. නමුත් මව තුළ ඇතිවන මෙම වෙනස්කම් සති දෙකක පමණ කාලයක් තුළ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වේ.

ප්‍රසූතියෙන් පසු මානසික අවපීඩනය
(Postpartum Depression)

මව්වරුන් 100ක් ගත්තොත් 12ක් හෝ 13 දෙනකුට මානසික අවපීඩනය ඇති වෙන්න පුළුවන්. මෙහිදී මවකට ඇතිවෙන ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ,

නුරුස්නා බව සහ කිපෙනසුළු බව

ශරීරයට දැනෙන අප්‍රාණික බව සහ තමාට දරැවා බලා ගැනීමට නොහැකි යැයි නිතර සිතීම.

කෑම අරුචිය.

ජීවිතය එපා වීම, කලකිරීම හෝ ජීවිතය නැති කරගැනීමේ සිතුවිලි.

නින්ද නොයාම හෝ උදෑසන නින්දෙන් අවදි වීම.

දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික අවපීඩනයට හේතු 

දරු ප්‍රසූතියට පෙර සිටම මේ තත්ත්වය තිබීම.

මීට ඉහත දරු ප්‍රසූතියකදී මානසික අවපීඩනයට ගොදුරැ වී තිබේ නම් ඊළඟ ප්‍රසූතියේදී නැවත අවපීඩනයට යාමේ හැකියාව 60%කි.

ගර්භනී සමයේදී CRH (Corticotrophin Releasing Hormone) නම් හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීම.

දරු ප්‍රසූතියෙන් පසු මොළය තුළ ක්ෂණික ස්නායු උත්තේජකවල ඇතිවන අසමතුලිතතාවය. (Neuraadoptine Dysregulation)

දරු ප්‍රසූතියෙන් පසු මවට ලැබෙන සහයෝගය අඩු වීම හෝ නැති වීම හෝ දැඩි මානසික පීඩනයකට ගොදුරු වීම. 

Ex - දරුවා රැකබලා ගැනීමේදී උපකාරක පරිසරයක් නොමැති වීම. (Poor Supporting Environment)

ප්‍රසූතියෙන් පසු සයිකෝසියාව

මව්වරුන් දහසක් ගතහොත් තුන්දෙනකු පමණ සයිකෝසියාව (Postpartum Psychosis)  නැමති ඉතා දරුණු මානසික තත්ත්වයට ගොදුරු විය හැක. මෙහිදී මව දරුවාට හානි කිරීමට ඇති හැකියාව ඉතා වැඩිය. තම දරුවා කරදරකාරයකු ලෙස හෝ විකෘති දරුවකු ලෙස හෝ යක්ෂයකු ලෙස හෝ අසාමාන්‍ය දරුවකු ලෙස පෙනෙන්නට පුළුවන්. මේ නිසා දරුවාට හානි කිරීමට තිබෙන හැකියාව ඉතාම වැඩිය. මවගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර නින්ද නොයාම සමඟ ප්‍රචණ්ඩ සහ කලහකාරී තත්ත්වයට පත්විය හැකිය. මෙහිදී මව තමාගේ ජීවිතයට හානිකර ගැනීමේ අවදානම වැඩි වේ. මෙහිදී මව දරුවාගෙන් වෙන්කර තැබිය යුතුය. ඉතා ඉක්මනින් මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුය. නමුත් බොහෝ විට සිදුවන්නේ භූත දෝෂයක් යැයි සිතා ගොඩ වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට යොමු වීමයි. මින් ඔබේ කාලය සහ ධනය දෙකම නැති වන අතර දරුවා සහ මව යන දෙදෙනාම දැඩි අවදානමකට ලක්වේ.

මවට ඇතිවන මෙම සයිකෝසියාව නැමති තත්ත්වය ප්‍රජාව තුළ වැදූගෙයි සන්නිය ලෙස කටවහරේ ප්‍රචලිතය. මනෝ විශේෂඥයන් පවසන පරිදි මෙම රෝගී තත්ත්වය දිවිද්‍රැව රෝගයේම (Bipolar Disorder) අවස්ථාවක් බව පෙන්වා දෙයි. දිවිද්‍රැව රෝගය යනු කාලයක් අධික දුක හෝ ජීවිතය කලකිරීම හෝ තවත් කාලයක් අධික සතුට හෝ අසාමාන්‍ය ජවය සහිත එකිනෙකට වෙනස් හැසිරීම් රටාවන් දෙකකින් යුතු අසනීපයකි. මෙම රෝගයට ගොදුරු වන මවකගේ පවුල් ඉතිහාසය තුළද මෙවැනි දිවිද්‍රැව රෝගීන් සිටිය හැකිය. මෙම රෝගයට දැඩි ජානමය සම්බන්ධතාවයක් පවතී.

අපේ සංස්කෘතිය සහ සමාජ වටපිටාව තුළ මවකට විශේෂයෙන්ම ගර්භනී කාලය තුළ සහ දරු ප්‍රසූතියෙන් පසු ලැබෙන සහයෝගය ඉතාමත්ම විශාලයි. මවට උදව් වීමට සියලුම නෑදෑ හිතමිතුරන් එකතු වේ. නිසි වෙලාවට සායනයට යොමු කිරීමට, හොඳ ආහාර පාන ලබා දීමට, දරුවා බලාගැනීමට මුළු පවුලේම සහයෝගය ලැබේ. නමුත් ඒ ඉපැරණි සමාජය යම් ප්‍රමාණයකට දෙදරා ගොස් ඇත. සමහර මව්වරු හුදකලාව සහ අසරණභාවයට පත්ව ඇත. මීට අමතරව සැමියා රට යාම, මත්පැන් සහිත පරිසරය, මත්ද්‍රව්‍යවලට ගොදුරැ වීම, ඊර්ෂ්‍යාව සහ කුහකකම්වලට ගොදුරු වීම දැන් බොහෝවිට දක්නට ඇත. මීට අමතරව දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික ගැටලු නිසි ලෙස හඳුනා නොගෙන නොයෙකුත් බලි, තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර, ශාන්ති කර්ම පිටුපස යාම ද සෞඛ්‍යට ප්‍රබල තර්ජනයක් වී ඇත.

[කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක]

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

විවාහය කඩන පෞරුෂ ගැටලු...


ඉතාමත්ම සරලව විස්තර කළොත් පෞරුෂය කියන්නෙ අපි හිතන, හැඟීම් ප්‍රකාශ කරන අනෙකුත් අය අවබෝධ කරගන්න, අඳින පළඳින, කන බොන ආකාරය ලෙස හැඳින්වුවහොත් වැරදි නෑ. සමහරවිට ඔබටත් මේ ගැන අත්දැකීම් ඇති. යම්කිසි පුද්ගලයකු දෙස බලා ඔහු හෝ ඇය පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන අවස්ථා එමටයි. ඔහු හෝ ඇය හරිම අහිංසකයි, හරිම ප්‍රියමනාපයි, හරිම ලෙන්ගතුයි, කතා කරනවා දකින්න හරිම ආසයි. හරියට තරහ යනවා. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ. කිසිම හැඟීමක් නෑ. හරිම ආත්මාර්ථකාමීයි. හරිම කුහකයි.

ඔබගේ විවාහය හෝ සහකරු හෝ සහකාරිය හෝ පෙම්වතා හෝ පෙම්වතිය සමඟ පවතින සම්බන්ධතාවය සාර්ථක වීමට හෝ රසවත් වීමට ඔබගේ පෞරුෂය විශාල බලපෑමක් ඇති කරයි. මනෝ විද්‍යාත්මකව මේ දෙස බලන විට පෞරුෂයේ තිබෙන වැදගත් ලක්ෂණ දෙකක් මීට උපකාරී වෙනවා.

1. ඔබගේ සිතුවිලි (Cognition)

2. ඔබගේ හැඟීම් (emotions)

ජීවිතය සාර්ථකව පවත්වා ගැනීමට ධනාත්මක සමාජශීලී සිතුවිලි වලින් අප මනස පෝෂණය වී තිබිය යුතුයි. මෙයට මනෝ විද්‍යාවෙ කියන්නෙ  සමාජ බුද්ධිය (social cognition) කියල. අපි මෙය පුංචි උදාහරණ දෙකක් මගින් බලමු. අපි හිතමු ඔබේ අල්ලපු ගෙදර මනුස්සයා ඔහුගෙ කුණු බෑග් එක ඔබේ තාප්පය ළඟ තිබ්බ කියලා. මෙහිදී ඔබ ක්‍රියා කරන ආකාරය ක්‍රම දෙකකින් බලමු. ඔහු සමඟ ඍජුව රණ්ඩු දබර කර ගැනීම සහ තරහ වීම. අනෙක් ක්‍රමය නම් ඔහු සමඟ බොහොම සුහදව ඔහුගේ වැරැද්ද පෙන්වාදීම. සැබැවින්ම මේ ක්‍රම දෙකෙන් කුමන ක්‍රමය භාවිත කරන්නේද යන්න තීරණය වනුයේ ඔබගේ පෞරුෂය තුළ තිබෙන සිතුවිලි සහ හැඟීම් යන කොටස් දෙක ක්‍රියා කරන ආකාරයටයි. අපි තවත් මෙවැනි සරල උදාහරණයක් ගනිමු. ඔබගේ බිරිඳ face book එකේ යම්කිසි පුද්ගලයකු සමඟ කාලයක සිට යම් කතිකාව හෝ පණිවිඩ හුවමාරුවක යෙදෙනවා යැයි ඔබට දැනෙනවා. මෙහිදීද ඔබ ක්‍රියා කරන ආකාරය පහත යම් එක් ක්‍රමයක් විය හැකියි. එනම් ඇය වෙත කඩාපැන පහරදී අපහාස කර දුරකතනය පොළොවේ ගැසීම. අනෙක් ක්‍රමය නම් ඇයට ආදරෙන් ළංවී ඔබ එපාවීමට යම් හේතුවක් ඇත්දැයි සොයාගැනීමට උත්සාහ කිරීමය. මෙහිදීද ඔබ ක්‍රියා කරන ආකාරය තීරණය කරනුයේ ඔබගේ සිතුවිලි (cognition) සහ හැඟීම් (emotions) පාලනය වන ආකාරයටය.

ඉහත සරල උදාහරණ දෙක අධ්‍යයනය කිරීමේදී අපට පෙනී යන්නේ අපගේ පෞරැෂය තුළ තිබෙන සිතුවිලි සහ හැඟීම් යන සාධක දෙක අප මෙහෙයවන ප්‍රබල සුක්කානමක් වී ඇති බවයි. කෙනකුගේ පෞරුෂය නිර්මාණය වීමට ජානමය මෙන්ම පාරිසරික සාධකද බලපායි. මොන තරම් හොඳ ජාන මව්පියන්ගෙන් ඔබට ලැබුණත්, ඔබේ දරැවා ආදරණීය සහ උත්තේජක පරිසරයක හැදී වැඩීමට අවකාශ නොලැබුණොත් සිතුවිලි සහ හැඟීම් යන පෞරුෂ ලක්ෂණ දෙකට විශාල හානියක් සිදුවේ.

අප සැමදෙනා තුළම පෞරැෂයේ නොයෙකුත් ගැටලු ඇත. නමුත් ඒවා විවාහයට හෝ අපගේ සම්බන්ධතාවලට බලපානුයේ ඒවායේ ඇති තීව්‍රතාවය හෝ එහෙමත් නැත්නම් අඩු වැඩිවීම මතයි. පෞරැෂය සම්බන්ධ මානසික රෝග රාශියක් මනෝ වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගෙන ඇත. ජීවිතය අසාර්ථක වීමට මෙවැනි රෝගයක්ම ඔබට තිබිය යුතු නැත. යම් පෞරුෂ භින්නතාවයක මෙවැනි රෝග ලක්ෂණ (personality traits) කිහිපයක් තිබීම ප්‍රමාණවත් වේ. මේවා මොනවාදැයි අපි එකින් එක සොයා බලමු.

පහත සඳහන් කතාවලින් එක එක පුද්ගලයන්ගේ පෞරුෂයේ ඇති නොයෙකුත් ගැටලු (personality problems) ජීවිතයට බලපාන හැටි විමසා බලමු.

සුගත් සහ මීනුගේ කතාව

මීනු පේරාදෙණිය සරසවියේ උපාධිධාරිනියක්. දැන් ඇය මාවතගම ප්‍රදේශයේ ගුරැවරියක ලෙස සේවය කරනවා. සරසවි ජීවිතයේදී ඇයට ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. නමුත් එය බිඳවැටුණා. ඉන්පසු මීනු කල්පනා කළේ කිසි දිනෙක එවැනි සම්බන්ධතාවයක් ඇති නොකරගන්නා බවත් යම් දිනෙක ගෙදරින් එන යෝජනාවකට කැමැති වන බවත්ය. මීනු සුගත් විවාහවෙලා දැන් අවුරුදු 4 ක් වෙනවා. මාස 12ක පුතෙකුත් සිටිනවා. මීනු අපට යොමුවූයේ ජීවිතය එපාවී සුගත් කෙරේ ඇති දැඩි කලකිරීමෙන් විවාහයද එපාවී සිටි අවස්ථාවකදීය. මීනු මෙසේ පැවසුවා.

මට සුගත්ව හොයල දුන්නෙ දෙමව්පියො. ඔහු සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක්. ඔහු කුරුණෑගල ප්‍රසිද්ධ පවුලක කෙනෙක්. මේ යෝජනාව ආපු දවස්වල මගෙ දෙමාපියන් හුඟාක් ඔහු ගැන හොයල බැලුවා. සුගත්ගෙ ගමේ අය කීවෙ හරිම නිශ්ශබ්ද හොඳට ඉගෙන ගත්ත තරුණයෙක් කියලා.

ඉතින් ඇයි ඔබට ඔහු එපාවුණේ?

කිසිදු සුමට හෝ ආදරණීය බවක් නැහැ. ඔහු නිතරම දකින්නෙ අනුන්ගෙ වැරදි. දැන් මගෙ දෙමාපියො ගෙදර එන්නෙත් නෑ. නෑදෑයො හිතමිතුරන් හැමදෙනාම ඈත්වෙලා. ඔහුට පේන්නෙ මේ හැම එක්කෙනාම තර්ජනයක් කියලා. ඔහු නිතරම කියන්නෙ කිසි කෙනෙක් ඇසුරු නොකර හුදෙකලාව සිටින එක ඇඟට ගුණයි කියලා. Office එකෙත් ඔහුට හරිම ප්‍රශ්න. ඔහුගෙ යටතෙ හුඟක් සේවකයො සිටිනවා. ඔහු නිතරම ඒ අයගෙ වැරදි හොයන්නෙ. මේ නිසාම මුළු office එකම ඔහුත් එක්ක තරහයි. ඔහුට යාළුවෝ නෑ. හුඟක් ආස හුදෙකලාව ඉන්න. ඔහු අතින් සිදුවන ඕනෑම වරදක් අනුන් පිට පටවන්න තමයි නිතරම බලන්නෙ. දැන් ඉන්න ගෙදර ඉස්සරහ මම ලස්සනට මල් වවලා තියෙනවා. මේ ළඟදි ඔහුගෙ කාර් එක පිටිපස්සට ගන්නකොට මල් පෝච්චියක් උඩින් ගියා. ඒ වරද ඔහු මගේ පිට තමයි දැම්මෙ. මම මල් වවල තියෙන විදිහ වැරදියි කියලා තමයි ඔහු කීවෙ. ඉතා කුඩා දේකටත් ඔහු දැඩි ලෙස කිපෙනවා. නිතරම අනුන්ගෙ වැරදි කියමින් ඒවා හරිගස්සන්න තමයි මහන්සි වෙන්නෙ.
මෙහි එන සුගත් සැකය නැමති පෞරුෂ භින්නතාවයේ (paranoid personality) සමහර රෝග ලක්ෂණවලින් පෙළෙන බව පෙනෙන්නට තිබේ. එම ලක්ෂණ නම් සෑමදෙනා දෙසම සැකෙන් බැලීම, හැමදෙනාගේම වැරදි දැකීම. සුගත් කල්පනා කරනුයේ තමා වටේ සිටින අය තමාගෙන් කඩා වඩාගැනීමේ අපේක්ෂාවෙන් ඇසුරු කරනවා කියායි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පාරිසරික හා ජානමය හේතු දෙකම බලපානවා. සුගත් කුඩා කාලයේදී හැදී වැඩී ඇත්තේ තම මව්පියන්ගේ දැඩි පාලනය යටතේය. සුගත්ගේ පියා සැර පරැෂ ගතිපැවතුම් ඇති පුද්ගලයෙක් බව සුගත් නිතරම කීවේය. මින් පෙනී යන්නේ සුගත් කුඩා කල දෙමාපියන් යටතේ යම් ආකාරයක මානසික අපයෝජනයකට පත්වී ඇති බවයි.

නයෝමි සහ නුවන්ගේ කතාව

නයෝමි සහ නුවන් විවාහ වී අවුරුදු 5 ක් වෙනවා. නුවන්ට නයෝමිව හමුවුණේ තම මිතුරකුගේ ප්‍රිය සම්භාෂණයකදීය. වසරක පමණ ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව දෙදෙනා විවාහ වී ඇත. නුවන්ට දැන් නයෝමි සමඟ ගත කරන ජීවිතය හොඳටම හෙම්බත් වී ඇත. කළ යුත්තේ කුමක්දැයි නොදැන ලෝක දෙකක අතරමං වී සිටින නුවන් අප වෙත ආවේ නයෝමිද සමඟය. නුවන් ඔහුගේ කතාව මෙසේ පැවසුවා.

නයෝමි මගෙ බිරිඳ. මෙයත් එක්ක ජීවත් වෙන්න හරිම අමාරුයි. පුංචි දෙයක් දිහා බලන්නෙත් හරිම අවිශ්වාසෙන්. තරහ ගියාම පාලනය කරගන්න බෑ. බිත්තියේ ඔළුව ගහගන්නවා. එහෙමත් නැත්නම් අත කපාගන්නවා. දැන් ඇය පාවිච්චි කරන්නෙ හතරවැනි ඇපල් phone එක. I phone 3ක්ම පොළොවෙ ගැහැව්වා. දෙසරයක්ම ජීවිතේ නැතිකරගන්න උත්සාහ කළා. ඇයට දැන් කිසිම යාළුවෙක් නෑ. මගෙ දෙමව්පියො එක්කත් දැන් තරහවෙලා. ඕනැම කෙනෙක්ට වේගයෙන් ළංවෙනවා. ඉක්මනින් යාළුවෙනවා. යාළු වුණාම වියරුවෙන් මෙන් ඔහුට හෝ ඇයට ළංවෙනවා. හැබැයි පුංචි සිදුවීමක් ඇති ඔහු හෝ ඇය එපාවෙන්න. මගෙ දෙමව්පියො එක්ක තරහ වුණු හැටි බලන්න. දවසක් ඒ දෙන්නට කෑමකට එන්න කීවා. ඉතින් නයෝමි හරිම සතුටින් උද්‍යෝගයෙන් ඒකට ලෑස්ති වුණා. කොහොම හරි එදා මගෙ තාත්තට වෙන වැඩක් යෙදිලා ඔවුන්ට එන්න බැරිවුණා. නයෝමිට මේකට කොච්චර තරහ ගියාද කියනව නම් මුළු කෑම මේසයම පොළොවෙ ගැහැව්වා. මගෙ අම්මට call කරල කීවා තවත් මේ පැත්ත පළාතෙ එන්න එපා කියලා. නයෝමිගෙ චරිතය තුළ මෙවැනි දේවල් මම යාළුවෙලා ඉන්න කාලෙත් දැක්කා. ඒත් මම හිතුවෙ මේවා බැන්දට පස්සෙ හරියයි කියලා. මට නම් දැන් ජීවිතේ තිත්තවෙලා. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ.
මෙහි එන නයෝමි ගොදුරු වී ඇත්තේ බෝඩර්ලයින් නම් පෞරැෂ භින්නතාවයටයි. (Borderline personality) පිරිමින්ට වඩා කාන්තාවන් මීට ගොදුරැ වේ. 2% ක් පමණ ප්‍රජාව තුළ සිටී. කුඩා කාලයේදී දරුවකු ලිංගික අපයෝජනය, ශාරීරික අපයෝජනය වැනි තත්ත්වයන්ට ගොදුරුවීම මීට එක් හේතුවකි. නයෝමිගෙ කුඩා කාලය පිරික්සීමේදී ඇයගේ වයස අවුරුදු 10 සහ 12 කාලය තුළ තම පවුලේ ළඟම ඥාතියකුගෙන් ලිංගික අඩත්තේට්ටම්වලට භාජනය වී ඇත. ඇය මේ කරුණු අපට රහසිගතව පැවසුවාය. මෙම පෞරුෂ භින්නතාවයේ ලක්ෂණ වනුයේ හැඟීම් පාලනයට ඇති අපහසුව, කෙනකුට වේගයෙන් ළංවීම සහ අතහැර දැමීම, ජීවිතය නැතිකර ගැනීමට උත්සාහ කිරීම, තදබල ලෙස කෝපයට පත්වීම, තමාට දැනෙන අසාමාන්‍ය පාළුව හෝ හිස් බව, තමා කෙරේ අභිමානයක් නොමැති වීම, අත කපාගැනීම හෝ ශරීරයට හානිකර ගැනීම, තමාට ආදරය කරන අය තමා අතහැර දමාවි යැයි යන භීතියයි.

දෙදෙනකු අතර යහපත් නිරෝගී සාර්ථක සහ රසවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔහු හෝ ඇයගේ පෞරුෂය ඉතාම වැදගත් සාධකයකි. ජීවිතයේ සාර්ථකත්වය තීරණය වනුයේ ඔබට හිමි එම පෞරැෂය මගින් නිර්මාණය කරන සිතුවිලි හා හැඟීම්^ අනුවය. ඔබගේ පෞරැෂයේ කොටසක් ජානවලින් හිමිවන අතර අනෙක් කොටස පරිසරය මගින් නිර්මාණය කරයි. කුඩා කල සිට ඔබගේ දරැවා මානසිකව හෝ ශාරීරිකව අපයෝජනයට පත් නොකර හදාවඩාගැනීම මෙවැනි තත්ත්වයන් වළකාගැනීමට ඇති හොඳම රහසයි.

[කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක]

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language