ඔසප් නතර වීමෙන් පසු ඊස්ට්‍රජන් ඖෂධය අත්‍යවශ්‍යද?


යුගදිවියේ ගැටලු ඇතිකරවන කාන්තා රෝග පිළිබඳව කතා කිරීමේදී රෝගයක් නොවන ස්වභාවික සංසිද්ධියක් වන කාන්තාවන්ගේ ආර්ථවහරණය පිළිබඳවද සාකච්ඡා නොකර බැරිය. ආර්ථවහරණය නැතිනම් ඔසප් නතරවීමත් සමග හටගන්නා ඊස්ට්‍රජන් හිඟකම යුග දිවියටද නොයෙක් ආකාරයේ අහිතකර බලපෑම් ඇති කරවයි.

ඊස්ට්‍රජන් හිඟකම නිසා ලිංගික රුචිය අඩුවීම, ලිංගික ශ්‍රාවයන් පිටවීම හීන වන නිසා යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය වියළිව පැවතීම කාන්තාවට ලිංගිකව එක්වීම වේදනාකාරී විය හැකිය. ඊට අමතරව ඔසප් නතරවීමත් සමග දුර්ගන්ධය සහ ශ්‍රාවයන් පිටවන්නට පටන් ගැනීමද යුග දිවියට බලපාන තවත් ගැටලු අතර වේ.

ඒ ආකාරයට ඔසප් නතරවීමත් සමග ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල අවමකර ගැනීමට ආර්ථව හරණය වීමත් සමග ඊස්ට්‍රජන් හෝමෝනය පිටතින් ලබා ගැනීමට සිදුවේ. ඒ අනුව ඊස්ට්‍රජන් පෙති, එන්නත් හෝ අලවන ප්ලාස්ටර් ආකාරයට ඊස්ට්‍රජන් ශරීරගත කිරීමේ ක්‍රමවේද වේ. බටහිර රටවල එම ක්‍රමවේද තුනම භාවිතා වුවද දැනට අපේ රටේ ප්‍රචලිතව ඇත්තේ ඊස්ට්‍රජන් පෙති ආකාරයට ශරීරගත කිරීමයි. යෝනි මාර්ගයේ වියලි ස්වභාවයටත් දුගඳ සහ ශ්‍රාවයන් පිටවීම අවම කිරීම සඳහාත් ඊස්ට්‍රජන් අඩංගු ක්‍රීම් වර්ග භාවිතා කරන්නට සිදුවේ. ඊස්ට්‍රජන් අඩංගු එම ක්‍රීම් යෝනි මාර්ගය තුළට ඇතුළු කිරීමෙන් එබඳු ගැටලුවලටද සහනයක් සලසා ගත හැකිය.

එම ගැටලුකාරී තත්ත්වයන්ට අමතරව ඊස්ට්‍රජන් හිඟකම හේතුවෙන් අස්ථි දියවීම, සම රැලි වැටීම, සිරුර දැවිල්ල, අධිකව දහඩිය දැමීම, වෙනදාට වැඩියෙන් කේන්ති යෑම, අමතක වන ස්වභාවය සහ නොසන්සුන්කාරී බවද පැවතිය හැකිය. ආර්ථවහරණයත් සමග ඊස්ට්‍රජන් පිටතින් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ ඒ නිසාය. ඊස්ට්‍රජන් හිඟකම හේතුවෙන් හට ගන්නා අස්ථි දියවීම මගහරවා ගැනීමට කැල්සියම් ලබා ගැනීමද වැදගත්ය.

මේ ආකාරයට ආර්ථවහරණයත් සමග කාන්තාවකට දීර්ඝකාලීනව ඊස්ට්‍රජන් ලබා ගැනීමට සිදුවීමේ අහිතකර ප්‍රතිඵලද නැතිවා නොවේ. එවැනි අහිතකර ප්‍රතිඵල අතර විශේෂයෙන් පියයුරු පිළිකා, ගර්භාෂ පිළිකා සඳහා වැඩි ඉඩක් ඇතැයි මේ වන විට හඳුනාගෙන තිබේ. ඊස්ට්‍රජන් හෝමෝනය වසර පහකට වඩා වැඩි කාලයක් ලබා ගැනීම එවැනි අතුරු විපාක වලට හේතුවිය හැකි බව වෛද්‍ය මතයයි. එහෙත් ශාඛ සාරයන්ගෙන් උකහා ගන්නා ඊස්ට්‍රජන් හෝමෝනයේ එම අතුරුආබාධ බොහෝ සෙයින් අඩුවන නිසා වෛද්‍ය නිර්දේශ මත එවැනි ඖෂධයකට යොමුවීම වඩා සෞඛ්‍යාරක්ෂිත බව අවධාරණය කළ යුතුවේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
උත්පලා සුභාෂිනී ජයසේකර

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: