ගර්භිණී සමයේ පෝෂණය පිළිබඳ ඔබ දැනුම්වත්ද?


ගර්භණී සමයේදී නිසි පෝෂණය ලැබීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තකි. මවගේ කුස තුළ වැඩෙන කලලය මව විසින් ගන්නා ආහාර මත පමණක් යැපීමත්, මවගේ ආහාරයේ යම් පෝෂණ ඌණතාවක් ඇතිවුවහොත් එය කුස තුළ වැඩෙන දරුවාට බලපෑමත් එයට ප්‍රධාන වශයෙන් හේතු වේ. එසේම තම සෞඛ්‍ය රැක ගැනීමටද ගර්භිණී මව පෝෂදායී ආහාර වේලක් ගත යුතුය. එසේ නොවුණහොත් මවද දරු ප්‍රසූතියෙන් පසුව විවිධාකාරයේ පෝෂණ ඌණතාවන්ට ලක්විය හැකිය. 

ගර්භිණී වීමට පෙර සිට ඒ සඳහා සූදානම් වීම අවශ්‍යමය. එහෙයින් ගර්භිණී වීමට පෙර සිටම නිසි පෝෂණ තත්ත්වයන් රැකගැනීමට අතපසු නොකළ යුතුය. ගර්භිණී වීමට පෙර කාන්තාවකගේ ශරීර ස්කන්ධ දර්ශකය 18.5- 25ත් අතර තිබේ නම් ඒ සුදුසු තත්ත්වයකි. එලෙසම නීරක්තියෙන් නොපෙළීම, එනම් ප්‍රමාණවත් හිමෝග්ලොබින් මට්ටමක් රැධිරයේ පැවතීමද අවශ්‍යය. 

එපමණක් නොව අප රට තුළ බෝ නොවන රෝග තත්ත්වයන් එනම්, විශේෂයෙන්ම දියවැඩියාව තරුණ වයසේදීම ඇතිවීමේ ඉඩකඩ පවතී. එහෙයින් ගැබිනියක් වීමට පෙර නිසි ශරීර ස්කන්ධ දර්ශකයක් තිබීම, නීරක්තියෙන් හා දියවැඩියාවෙන් නොපෙළීම, යහපත් ගර්භිණී තත්ත්වයක් උරුම කිරීමට මුල්වන සාධක අතර පවතී. 

ඇතැම් කාන්තාවෝ දියවැඩියාවෙන් පෙළෙමින් ඒ බව දැන ප්‍රතිකාර ගනිමින් සිටියදී ගැබ් ගනිති. තවත් සමහරු තමන් දියවැඩියාවෙන් පෙළන බව නොදැන ගැබ් ගනිති. මේ දෙපාර්ශ්වයේම පෝෂණ තත්ත්වය විමර්ශනය කිරීම සහ අවශ්‍ය මගපෙන්වීම ලබාදීම වැදගත් දෙයකි. 
එමෙන්ම ශරීර ස්කන්ධ දර්ශක තොරතුරු අනුව පෙනෙනුයේ එහි 18.5-25 පරාසය තුළ සිටින්නේ අපගේ මව්වරු අතරින් 50%ක් පමණ පිරිසක් බවයි. 25%ක් මව්වරුන් 18.5ට අඩු ශරීර ස්කන්ධ දර්ශක දැක්වීම කලක සිටම පවතින ගැටලුවකි. මෑතක අප දකින තවත් ප්‍රවණතාවක් වන්නේ ගර්භිණී කාන්තාවන් අතරින් 25෴ක්ම 25ට වැඩි ඉහළ ශරීර ස්කන්ධ දර්ශක දැක්වීමයි. මේ දෙපිරිසම සඳහා පෝෂණ මැදිහත්වීම් අවශ්‍යය. මේ හැරුණු විට පවතින අනෙක් ගැටලුව වන්නේ උපත දෙන බිළිදුන්ගේ උපත් බර අඩු වීමය. එනම් දරුවන් උපතේදී කිලෝ ග්‍රෑම් 2.5ට වඩා අඩු උපත් බරක් දැක්වීමයි. පසුගිය කාලය මුළුල්ලේම මෙම ගැටලුව විසඳීම සඳහා බොහෝ මැදිහත්වීම් සිදුකළද ලැබී ඇති ප්‍රගතිය ඉතා අඩුය.

මෙම පෝෂණ අභියෝග ජයගැනීම සඳහා උත්සාහ දැරිය යුත්තේ ගර්භිණීභාවයට පත් වූ පසුව නොව විවාහ වීමටත් ප්‍රථමය. පෝෂණ ගැටලු සමග මවක් ගර්භිණී වන තුරු බලා සිටියහොත් එය මව සහ බිළිඳා යන දෙදෙනාටම හානිකර විය හැකිය. ජාතික වශයෙන් ක්‍රියාත්මක වන පූර්ව- ගර්භිණී සත්කාර වැඩසටහන ජීවන චක්‍ර ප්‍රවේෂයක් ගනු ලබයි. විශේෂයෙන්ම නව යොවුන් වයසේ පෝෂණය සහ ගර්භිණී සමයේ පෝෂණය සහ ගර්භිණී සමයේ පෝෂණය පිළිබඳ විමසමින් ඒ පිළිබඳ මැදිහත්වීම් දැක්වීම එමගින් සිදුකරයි. 

කාන්තාවන් ගර්භිණී වීමට අපේක්ෂා කරන්නේ නම් ෆෝලික් අම්ලය පෙත්ත බැගින් දිනපතා ගැනීම වැදගත්ය. මේ මගින් ළදරුවා තුළ ඇතිවිය හැකි ස්නායුමය සංකූලතා අවම කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතුවේ. එය මවගේ නීරක්තිය මර්දනයටද උදව් වේ. එමෙන්ම ප්‍රසවයේදී හොඳ උපත් බරක් සහිත ළදරුවෙක් ලැබීමත්, මව තුළ සංකූලතා ඇතිවීම වැළැක්වීමත්, මවගේ බර වැඩිවීමත් මේ මගින් අපේක්ෂා කෙරේ. මෙම බර වැඩි වීම පූර්ව ගර්භිණී ශරීර ස්කන්ධ දර්ශක අගය මත රඳා පවතී. 

ගර්භිණී මවගේ බර වැඩි වීම ඒකාකාරීව සිදුවන්නක් නොවේ. සමහර විට මුල් කාලයේදී ආහාර අරුචිය, ඔක්කාරය ආදී හේතූන් නිසා බර අඩු වීම සිදුවිය හැකි වුවත් ගර්භිණී සමයේ අවසන් ත්‍රෛමාසයේදී වැඩිම බර වැඩි වීම සිදුවේ. ගර්භිණී සමයේ ප්‍රමාණවත් ලෙස බර වැඩි වීම සිදුනොවුණහොත් අඩු බර දරු උපතක් ඇති වීම සඳහා මෙන්ම අහිතකර ලෙස බලපෑම් කිරීමටද පුළුවන. එමෙන්ම ගර්භිණී සමයේ අධික බර වැඩිවීම මව හා දරුවා යන දෙදෙනාටම අහිතකර ලෙස බලපෑ හැකිය. මේ නිසා අධිබර හා තරබාරු මව්වරු පැණිරස ආහාර හා පාන වර්ග, තෙලෙන් බදින ලද ආහාර, මේදය හා පිෂ්ඨය බහුල ආහාර, මොල්ට් පාන වර්ග ඇතුළු අධික කැලරි අගයක් සහිත ආහාර ගැනීම තදින්ම සීමා කළ යුතුය. ගර්භිණී සමයේ මුල්මාස තුන ඇතුළත පෝෂණ අවශ්‍යතා ඉහළ යන්නේ සුළු වශයෙනි. එහෙත් ඉන්පසුව විශේෂයෙන්ම  ගර්භයට සති 28ක් ගත වූ පසු එය සැලකිය යුතු ලෙස ඉහළ යෑම දැකගත හැකිය. 

මවගේ නිසි පෝෂණය සිදුවීම සඳහා  අවශ්‍ය සාධක

  1. ගර්භිණී සමයේ බර වැඩිවීම නිසි අයුරින් සිදුවීමට, අවශ්‍ය කැලරි ප්‍රමාණය ආහාර මගින් ලැබීම
  2. දිනපතා සෑම ආහාර කාණ්ඩයකටම අයත් විවිධ ආහාර කෑමට ගැනීම
  3. ප්‍රමාණවත් ලෙස දියර පානය කිරීම (අවම වශයෙන් දිනකට වීදුරු 8-10)
  4. මලබද්ධය වැළැක්වීම සඳහා කෙඳි සහිත ආහාර ප්‍රමාණවත් ලෙස ආහාරයට එකතු කර ගැනීම
  5. සෞඛ්‍ය සම්පන්න ආහාර මවගේ කැමැත්ත අනුව තෝරාගෙන කෑමට ගැනීම
  6. අවම වශයෙන් දිනකට එක් නැවුම් කිරි වීදුරුවක් හෝ ඊට සමාන කිරි ආහාරයක් පානය කිරීම
  7. මධ්‍යසාර ගැනීම හෝ අක්‍රිය හෝ සක්‍රිය හෝ දුම්පානයෙන් වැළකීම

එමෙන්ම ගර්භිණී සමයේ හොමෝන ක්‍රියාකාරීත්වය නිසා වෙනස්කම් රැසක් සිදුවේ. මලබද්ධය, බඩදැවිල්ල, වැනි ගැටලු කාරී තත්ත්වයන්ද ගර්භිණී සමයේ ඇති විය හැකිය. මලබද්දය සඳහා විශේෂ ඖෂධ නොලබා තන්තු සහිත ආහාර වැඩිපුර ගත යුතුය. විශේෂයෙන් පලා වර්ග හා පලතුරු ගැනීම සහ ජලය වැඩිපුර පානය මගින් සහනය ලද හැකිය. බඩ දැවිල්ල පවතී නම් තෙල් හා මිරිස් නොයෙදූ ආහාර ගැනීමෙන් එය සමනය කර ගැනීමට උනන්දු විය යුතුය.

ගර්භිණී සමය තුළදී සමබර ආහාර වේලක් ගැනීම සඳහා සායනය තුළින් ලැබෙන පෙති වර්ග භාවිත කිරීම තුළින් මවගේ කුස සහ කුස තුළ වැඩෙන බිළිඳාගේ පෝෂක අවශ්‍යතා සපිරෙන අතරම, යකඩ, කැල්සියම්, විටමින් සී, අයඩීන් ආදී ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාද සපුරා ගැනීමට හැකිවේ. 

ගර්භිණී මව ලැබිය යුතු අතවශ්‍ය  ක්ෂුද්‍ර පෝෂක

ෆෝලේට්

දරුවාගේ ස්නායු පද්ධතියේ සිදුවිය හැකි ආබාධ ෆෝලේට් ගැනීම මගින් වැළකේ. ගර්භිණී සමයේදී ෆෝලේට්වල අවශ්‍යතාව ඉතා ඉහළ අතර, ගර්භිණී සමයට පෙර සිටම හා ගර්භිණී සමය තුළ ෆෝලේට් ගැනීම මගින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. 

යකඩ

ගර්භිණී සමයේ යකඩ අවශ්‍යතාව ඉතා ඉහළය. ඉහළ යන රැධිර සෛල ප්‍රමාණය නිෂ්පාදනයට, කුස තුළ වැඩෙන කලලයේ වර්ධනයට හා ගර්භාෂයේ පටක හා කලල බන්ධනය වර්ධනයටද යකඩ අවශ්‍යය. 

කැල්සියම්

ගර්භිණී සමයේදී හා කිරිදෙන අවධියේදී කැල්සියම් අවශ්‍යතාව ඉහළ යයි. මව විසින් ලබා ගන්නා කැල්සියම් ප්‍රමාණය අඩු වූ විට මවගේ අස්ථී තුනී වී එම කැල්සියම් දරුවාගේ අස්ථී වර්ධනයට යොදා ගනියි. 

විටමින් සී

විටමින් සී මගින් යකඩ අවශෝෂණය වැඩි කරන අතර, ආසාදිත රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු කරයි. දිනකට අවශ්‍ය විටමින් සී ප්‍රමාණය ලබා ගැනීම සඳහා පලතුරු ප්‍රමාණ 3ක් හෝ 4ක් ආහාරයට එකතු කරගත යුතුය. 

අයඩීන්

අයඩීන් අඩංගු ලුණු ආහාරයට එකතු කර ගැනීම මගින් ගර්භිණී මවගේ අයඩීන් අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකිය. 

එමෙන්ම ගර්භිණී මවක් වැඩිපුර ජලය පානය කිරීම අවශ්‍යය. නිතර වැළඳිය හැකි මුත්‍රා අසාදන හා මලබද්ධය දුරලීමට එය උපකාරී වේ. එසේම ගර්භිණී සමයට අහිතකර කඩචෝරු, කෘතීම ආහාර, සිසිල් බීම, මොනෝසොඩියම් ග්ලූටමේට් යොදා සකස් කළ ආහාර ගැනීම නොකළ යුතුය. සෑම විටම නිවසේ පිළියෙල කරන අලුත් ආහාරයක් ගැනීම සුදුසුය. 

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: