ප්‍රසූතියෙන් පසුව ව්‍යාකූල සිත් ඇති කරන මානසික රෝග.

   
මවක් දස මසක් කුස දරා හිඳ මේ ලොවට දරුවෙකු බිහිකරන්නේ අසීමිත වූ වේදනාවකිනි. එකී දරු ප්‍රසූතියේ පූර්ව හා පශ්චාත් අවධිය තුළ ඇතිවන නොයෙකුත් ආසාදනයන් හා මානසික කම්පනයන් නිසා සමාජයේ කාන්තාවන් බහුලව විවිධාකාරයේ ගැටලු රැසකට මුහුණ දේ. ඇතැම් විට පවුල තුළින් පවා සහයෝගයක් නොලද ඇය ඇතැම් අවස්ථාවල ව්‍යාකූල ස්වභාවයකින් පවා හැසිරෙන අවස්ථා තිබේ. එම නිසා ප්‍රසූතියෙන් පසුව ඇතිවන තත්ත්වයන් පිළිබඳ අප දැන සිටීම අත්‍යවශ්‍ය කාරණාවකි. ඒ පිළිබද සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු. ඔහු ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි. 

කාන්තාවන්ට විශේෂිත වූ මානසික රෝග තත්ත්වයන් ප්‍රධාන වශයෙන් ත්‍රිත්වයක් හදුනාගන්න පුළුවන්. විශේෂයෙන් දරු ප්‍රසූතියේදී ඇතිවන මානසික රෝග දරු ප්‍රසූතියක් නොමැතිව සෑදෙන මානසික රෝගවලට බොහෝ විට සමානකමක් දක්වනවා. එහිදී පශ්චාත් ප්‍රසව අවධියේ ඇති වන මානසික රෝග පිළිබඳ විශේෂයෙන් අවධාරණය කළ යුතුයි. 

එයින් අදහස් කරන්නේ දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන නොයෙක් මානසික රෝගී තත්ත්වයන් පිළිබදවයි. ඒ වර්ග යටතේ කාන්තාවන්ට වැලඳෙන්නා වූ මානසික රෝග කිහිපයක් හඳුනා ගැනීමට පුළුවන්. 

පශ්චාත් ප්‍රසව විෂාද තත්ත්වය (postpartum depression)

කාන්තාවන්ගෙන් දරු ප්‍රසූතියෙන් පසුව 10%ක වැනි ප්‍රතිශතයකට මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා. එය මුළු ලෝකයම මුහුණපාන්නා වූ දෙයක්. එය ශ්‍රී ලංකාවේ කාන්තාවන් පමණක් මුහුණදෙන දෙයක් නොවේ. එකී රෝගී තත්ත්වය ඇතී වීම පිළිබඳව විශේෂඥයින් විසින් විවිධ හේතූ කාරණා සහා උපකල්පන දක්වා තිබෙනවා. මෙය ඇති වීමට බලපාන එක් කාරණාවක් වන්නේ, මෙම රෝගී තත්ත්වය ඇති වීමේ පාත්‍රභාවයක් (Genetic)තමන්ගේ පවුල් ඉතිහාසයේ තිබෙනවා නම් එම කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වීම සුලබ බවයි. 

එමෙන්ම අනෙක් හේතූකාරකය ලෙස දක්වන්නේ ඇතැම් අවස්ථාවල තමන්ගේ ශරීරයේ ක්ෂණිකව ඇති වන හෝමෝන වෙනස්කම්. එනම් දරු ප්‍රසූතියත් සමගම වැදෑමහ කියන අවයවය ඇගෙන් එළියට එනවා. මෙය ශරීරය අභ්‍යන්තරයේදී දරුගැබ පවත්වාගෙන යෑම සඳහා විශාල හෝමෝන ප්‍රමාණයක් නිපදවනවා. වැදෑමහ ඉවත් වීමත් සමග මෙයින් නිපදවන අතිවිශාල හෝමෝන ප්‍රමාණයක් තිබෙන පරිසරය හෝමොන රහිත පරිසරයක් බවට පත් වන බැවින් ශරීරයේ හෝමෝනවල ක්ෂණික අවපාතයක් ඇති වෙනවා. මෙයත් සමග මොළයට දැනෙන හෝමොන ආතතිය නිසා මෙකී මානසික රෝගී තත්ත්වය ඇති වන්නට පුළුවනි. මේ තුළින් කාන්තාවට පීඩාකාරී ආතතිතයක් ඇති කරවනවා. කාන්තාවන් මෙයට ස්වභාවයෙන් ලක් වීමේදී ඇතැම් කාන්තාවන් ඒ අවස්ථාවේදී ඇති වන පීඩාකාරී තත්ත්වය තුළ විෂාදයට ලක්වෙන්න පුළුවන්. 

විෂාද තත්ත්වයේ රෝග ලක්ෂණ

සමාන්‍ය ජීවිතයේදී ඇතිවන විෂාද තත්ත්වයේ සමාන රෝග ලක්ෂණ මෙම තත්ත්වය තුළද දැකගන්න පුළුවන්. කලකිරීම, එපා වීම, වැඩ කිරීමේ අපහසුව, පණ නැති ගතිය, ශාරීරික වශයෙන් දුබල භාවයක් දැනීම, සතුටක් නොදැනීම හා තමන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති කෙනෙක් ආදී වශයෙන් සෘණාත්මක සිතුවිලි ඇතිවීම ඒ තුළ දැකගන්න පුළුවන්. 

එම හේතු නිසා සියදිවි හානි කර ගැනීමේ අදහස් හා දරුවාට හානි කිරීමේ අදහස් ඇති වෙන්න පුළුවන්. ඇත්තෙන්ම කලාතුරකින් මෙකී තත්ත්වයට පත් වුවත් අප එය ඉතාම අවදානම් කාලයක් ලෙසයි දකින්නේ. ප්‍රසූතියෙන් පසුව දින කිහිපයක් යන තුරු වේදනාකාරී තත්ත්වයක් තිබෙන නිසා මෙවැනි රෝග ඇති විය හැකි නමුදු මෙවැනි රෝගී තත්ත්වයන් ගැන දැනගැනීමෙන් ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යයි.

මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර නොකර සිටීමෙන් මව හා දරුවා අතර පවතින මානසික බැඳීම අතිශයින් දුර්වල වෙන්න පුළුවන්. දරුවාගේ මානසික සෞඛ්‍යට, මානසික වර්ධනයට මෙය බලපාන්න පුළුවන්. ඒ වගේම එය මවගේ අනාගතයට වගේම දරුවාගේ අනාගතයටත් ඉතාම බරපතළ ලෙසින් බලපාන දෙයක්. 

කාර්යක්ෂම ප්‍රතිකාර ක්‍රම සඳහා  යොමු වීම

මෙකී විෂාද තත්ත්වය හඳුනාගනිමින් ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා කාර්යක්ෂම ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. මේ සඳහා ඖෂධ භාවිත කරන්න පුළුවන්. මෙම ඖෂධ භාවිත කළත් එයින් මවුකිරි ලබාදීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මවුකිරි ලබාදෙන නිසා මවට දෙනු ලබන්නේ ආරක්ෂාකාරී ඖෂධයි. ඔවුන්ගේ සෞඛ්‍යට අහිතකර බලපෑමක් එක්කරන ඖෂධ වෛද්‍යවරුන් කිසිසේත් නිර්දේශ කරන්නේ නැහැ. 
නමුත් විෂාද තත්ත්වය අතිශයින්ම දරුණු ලෙස තිබෙනවා නම්, සුව වෙන්න කල් මදි නම්, අවදානම් වැඩිනම් විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය අනුගමනය කරනවා. ඖෂධ භාවිත කිරීම තුළ රෝග ලක්ෂණ තුළ අඩු වීමක් පෙන්නුම් කරන්නේ නැතිනම් අපි ඒ රෝගියාව විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය (Electro convulsive therapy) සඳහා යොමු කරනවා. ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වන තරමට මෙහි අවදානම වැඩි වීම හා දරුවාගේ වර්ධනයට බලපානවා. 

මොකද මෙවැනි තත්ත්වයක් තුළ ළදරුවාට කිරි දීම මගහැරෙනවා. ඒ වගේම දරුවාව බලා ගැනීමේ කාර්ය වුවත් සිදුකිරීමේ අපහසුතා ඇති වෙනවා. ඒ නිසා ඉතා ඉක්මන් ප්‍රතිකාර අපේක්ෂාවෙන් විද්‍යුත් කම්පන ප්‍රතිකාර සිදුකරනවා. ඒවා ඇත්තෙන්ම අතිශයින් සාර්ථකයි. ඇතැම් කාන්තාවන් මෙම ප්‍රතිකාරය සඳහා යොමු වීමේ බියක් පෙන්වනවා. නමුත් එලෙස බිය විය යුතු නැහැ. මෙම ක්‍රමය ඉතා සුලබව භාවිතාකරන ඉතා ආරක්ෂාකාරී ප්‍රතිකාර ක්‍රමයක්. එයින් මොළයට හෝ ශරීරියට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. 

විනඩි තුනක් හෝ හතරක පමණ කාලයක් නිර්වින්දනය කර තබා පසුව මෙම විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය ලබාදීම සිදුකරනවා. මේ සඳහා නිර්වින්දන වෛද්‍යවරයෙකු සහාභාගි වන අතර, එහිදී පරිගණකයක් වැනි උපකරණයක් භාවිතයෙන් පාලනය කළ හැකි විද්‍යුත් කම්පනයක් ලබාදීම සිදුකරනවා. 

මෙම ද්විත්ව ක්‍රමයම විෂාද තත්ත්වයකදී රෝගී කාන්තාව සුව කිරීම සඳහා භාවිත කරන අතර ඊට අමතරව මෙවන් රෝගී අවස්ථාවකදී කාන්තාවකට අනිවාර්යෙන්ම පවුලේ සහයෝගය අත්‍යවශ්‍යයයි. ලාංකේය සංස්කෘතියට අනුව විස්තෘත පවුලේ සහයෝගය අනිවාර්යෙන් දරුවෙකු ප්‍රසූත කිරීමේදී මවට හිමි වෙනවා. මෙවන් තත්ත්වයකදී දරුවගේ හා තමන්ගේ වැඩකටයුතු තනිවම සිදුකිරීමට අපහසු බව පවුලේ අය දැනගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කමින් මවට අපවාද, චෝදනා නැගීම පවුලේ අනෙකුත් සමාජිකයින් විසින් සිදුකරනවා. ඒ නිසා පවුලක් වශයෙන්, සමාජයක් වශයෙන් ඔවුන් දැනගත යුතුයි මේ අවස්ථාවේ සංවේදීව ක්‍රියාත්මක වී මවට සහයෝගය ලබා දෙන්න. 

අපේ සංස්කෘතිය තුළ නම් මේ කාරණාව දැනගත් පසුව බොහෝ දුරට සහයෝගයක් ලැබෙනවා. නැන්දම්මා ලේලිය අතර ගැටුම් හා පරම්පරා මත ගැටුම් ඇති වන අවස්ථාද නැත්තේ නොවේ. අද පවසන දේ නෙමෙයි විද්‍යාවෙන් හෙට කියන්නේ. එය කාලයත් සමග වෙනස් වෙනවා. ආච්චිලාගේ පරම්පරාවේ දැනුමයි දැන් සිටින මවුවරුන්ගේ දැනුමයි ඇත්තෙන්ම වෙනසක් තිබෙනවා. ඒ නිසා ඒ ගැටලුත් මෙවැනි අවස්ථාවල ඇති වෙන්න පුළුවන්. ඒවත් මගහැරගනිමින් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් ඒ අවස්ථාවේ ප්‍රතිකාර ලබා දීම හා උපදෙස් පැතීමයි සිදුකළ යුත්තේ. 

මේ සඳහා නිවස ආසන්නයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය නිලධාරියෙක් හමු වෙන්න පුළුවන්. ඔවුන්ට මේ සඳහා පුහුණුවක් ලබාදී තිබෙන නිසා ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කරනවා. නමුත් විෂාද තත්ත්වය ඇතැම් විට ප්‍රසූතියෙන් මුල් සති දෙක තුනේ ඇති නොවන අවස්ථාද තිබෙනවා. පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දරුවා ලැබුණු මුල් අවස්ථාවේ මව පිළිබඳ වැඩි උනන්දුවක් අවධානයක් යොමු කරයි. නමුත් ඉන් පසු කාලයේ මෙම රෝගී තත්ත්වය මතු විය හැකි නිසා පවුල් සෞඛ්‍ය නිලධාරිනියටද රෝගී තත්ත්වය හඳුනාගැනීමට අවස්ථාවක් උදා වන්නේ නැහැ. දරුවා හා මව සුවෙන් සිටී නම් මසකට වරක් පමණක් ඇතැම් විට පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ අධීක්ෂණයට යොමු වෙන්න පුළුවන්. ඇතැම් විට දරු ප්‍රසූතියෙන් මාසයක් පමණ කාලයක් ගිය පසු විෂාද තත්ත්වය ඇති වෙනවා. නමුත් මෙය නිවැරදිව හඳුනාගනිමින් පවුලේ සහයෝගය මධ්‍යයේ නියමිත ඖෂධ ලබාගත් විට මෙම රෝගී තත්ත්වය සුව කරන්න පුළුවන්. එමෙන්ම දිර්ඝකාලීනව ඇතිවන ප්‍රතිඵල අවම කර ගැනීමටද පුළුවන්. 

ඉතාම කලාතුරකින් වගේ මවකට දරු ප්‍රසූති කිහිපයක් තුළ මෙම මානසික රෝගී තත්ත්වය නැවත නැවත ඇති වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා පළමු දරු ප්‍රසූතියේදී මෙම රෝගයට පිළියම් කර සුවය ලබා සිටියත් ඊළඟ දරු ප්‍රසූතියේදීද මේ පිළිබඳ අවදානමෙන් සිටින්නට අවශ්‍යයි. 

පශ්චාත් ප්‍රසව සයිකෝසියාව (Post Partum Psychosis)

භින්නෝන්මාදයට සමාන රෝගී තත්ත්වයක් ලෙසින් මෙය ඇති වෙන්න පුළුවන්. එහිදී විෂාදය මෙන් නොව ඊට වඩා හිතන පතන ක්‍රමය වෙනස් වී සැක හිතන, බය හිතෙන එක, අසාමාන්‍ය සිතුවිලි ඇති වීම, මෝහනය වගේ ලක්ෂණයක් මෙම රෝගයේදී දැකගන්න පුළුවන්. මෙම තත්ත්වයන් දරු ප්‍රසූතියෙන් දින කිහිපයක් තුළ මතු වෙන්න පුළුවන්. එමෙන්ම මෙම රෝගී තත්ත්වය දරු ප්‍රසූතියෙන් පසු 0.5෴ක් වැනි කාන්තා ප්‍රතිශතයකට හැදෙන බව වාර්තා  අනුව පෙන්නුම් කරනවා. වෛද්‍යවරයකු රෝගියාව පරීක්ෂා කළ පසුව ඖෂධ ප්‍රතිකාර ගැනීමට නියම කරන අතර, විෂාද තත්ත්වය තුළ ඇති වූ අවදානම් තත්ත්වය මෙම රෝගය තුළද ඒ ලෙසින්ම පවතිනවා. මෙයින් ඇති වන ව්‍යාකූල සිතුවිලි මත දරුවාගේ ජීවිතයට මෙන්ම තමාගේ ජීවිතයට හානි කර ගැනීමට මව තැත්කරනවා. එවැනි තත්ත්වයන් කලාතුරකින් සිදුවුවත් රෝහල්වල පිහිටා තිබෙන මවු ළදරු ඒකකවලට යොමු කරනවා. එහිදී මව සහ ළදරුවා යන දෙදෙනාම එකට බලා ගන්නා තැනක්. එවැනි ඒකකයක් දැනට අංගොඩ මානසික රෝහලේ ස්ථාපිත කර තිබෙන අතර, එහි වෙන් කළ කාමර තිබෙනවා. හෙදියන්ගේ නිරන්තර නිරීක්ෂණයට මොවුන් ලක්වෙනවා. මෙහි නවාතැන් පහසුකම් තිබෙන්නේ පවුලේ සමාජිකයෙකුට, මවට හා දරුවට පමණයි. එයින් ඉතාම උසස් මට්ටමේ සේවයක් ඇත්තෙන්ම මේ වන විටත් සැලසෙනවා. එහිදීද ඖෂධ ප්‍රතිකාර හා විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. 

අාසාදන තත්ත්ව ෙහ්තුෙවන් ඇතිවන ඩිලිරියම් (Delirium)

මේ  රෝග අවස්ථා දෙක ඇරුණු විට කලාතුරකින් ආසාදන තත්ත්වයන් නිසා ඇති වන ඩිලිරියම් (Delirium). එනම් ප්‍රසූතියෙන් පසු ගර්භාෂයේ හෝ සැත්කමෙන් පසු උදරයේ ඇති වන ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදීද මානසික ව්‍යාකූලතාවක් ඇති වෙන්න පුළුවන්. එවිටද මානසික තත්ත්වය වෙනස් වීම, බය වීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මව ශාරීරික වෙනස් ලක්ෂණයක් පෙන්නුම් කරනවා නම් (උදරයේ වේදනාව, සුදුමැලි වුණ) එමෙන්ම මානසික ව්‍යාකූලත්වයක් තිබෙනවා නම් වහාම වෛද්‍යවරයෙකුට යොමු කළ යුතුයි. එසේ නොකළහොත් මෙම අසාදන තත්ත්වයන් වැඩි වී  ජීවිතයට අවදානමක් ඇති විය හැකියි. වෛද්‍යවරු වුවත් සැත්කම් හා දරු ප්‍රසූත අවස්ථා සඳහා ජීවානුහරණය කළ භාණ්ඩ භාවිතා කරන නිසා අසාදන ඇතිවී මානසික රෝගී තත්ත්වයන් ඇති වීම ඉතාම අඩුයි. 

මේ මානසික රෝග තුන කාන්තාවකට දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන දරුණුම තත්ත්වයන්. මෙයට අමතරව දරු ප්‍රසූතියෙන් පසුව ඕනෑම මවකට සුළු ආතතියක් පීඩාවක් ඇති වෙන්න පුළුවන්. එහිදී සමාන්‍ය මානසිකත්වයේ තාවකාලික වෙනසක් අපි එහි හඳුනා ගන්නවා. එය අප %Post Part of the Blue^ යන නමින් හඳුන්වනවා. එය ඇති වන වේලාවන් නිශ්චිතව කියන්න බැහැ. දවසේ සෑම වේලාවකම එම තත්ත්වය දැකගන්නත් බැහැ. එය සමාන්‍යයෙන් පළමු දින 10 ඇතුළත ඇතැම් විට සුව වෙනවා. මෙය දරුණු ලෙඩක් හෝ අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. දරු ප්‍රසූතියෙන් පසුව මවුවරුන්ගෙන් 50%ක් - 70%ක් අතර, ප්‍රමාණයක් එම තත්ත්වයට පත් වී තිබෙනවා. මෙයින් විෂාදය, පශ්චාත් ප්‍රසව සයිකෝසියාව වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් මේ පිළිබඳ පවුලේ මෙන්ම සැමගේම අවධානයට ලක් වෙන්න අවශ්‍යයි. මෙම රෝගය ඇති වීම තුළින් නින්ද යෑමේ රටාව වෙනස් වෙනවා. සාමාන්‍ය නින්ද යෑමේ රටාව නම් දරු ප්‍රසූතියෙන් පසුව අධික වෙහෙස හා කිරි දීමට ඇති අවශ්‍යතාව නිසා ළදරුවා නිදා ගන්නා විට ඒ සමගම මවත් නින්දට යන්න ඕන. එය තමයි ස්වභාවිකව වන සංසිද්ධිය. නමුත් පශ්චාත් ප්‍රසව සයිකෝසියාව වැනි තත්ත්වයන් ඇති වන අවස්ථාවල ස්වභාවික නින්ද අස්වාභාවික වෙනවා. එසේ වූ විට මවට දවස් තුන හතර නින්ද යන්නේ නැහැ. එමෙන්ම නිතර නිතර කේන්ති ගන්නවා. වෙනදට වඩා වෙනස් ලෙසකින් හැසිරීම ආදී ලක්ෂණයන් තිබෙනවා නම් මුල් අවධියේම අවධානයෙන් සිටීම වැදගත්. 

මේ ආකාරයට හඳුනාගත හැකි පශ්චාත් ප්‍රසව මානසික රෝගී තත්ත්වයන් කාන්තාවන්ට වැලඳෙන එක් මානසික රෝගී ප්‍රභේදයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. 

[මනෝ ෙෙවද්‍ය ආචාර්ය ජයමාල් ද සිල්වා | ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය]

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: