ළමා අපයෝජනය මොළෙත් අවුල් කරන හැටි!

ළමා අපයෝජනය පිළිබඳව අපි තවදුරටත් ගැඹුරින් සොයා බලමු. ජාතික ළමා රක්ෂණ අධිකාරියේ වාර්තාවන් සහ සංඛ්‍යා ලේඛනවලට අනුව 2014දී දරුවන් 10315ක්ද, 2015දී දරුවන් 10732ක්ද, 2016දී දරුවන් 10000ක් ද අපයෝජනයට ලක්වී ඇත. මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, රත්නපුර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලිනි.

කුඩා කල දරුවකු අපයෝජනය වීම නිසා ඔවුන් නොයෙකුත් මානසික රෝගවලට ගොදුරු වන බව පසුගිය ලිපියෙන් අප සොයාබලන ලදී. එසේ ගොදුරු විය හැකි මානසික රෝගී තත්ත්වයන් සහ ගැටලු නම් මානසික අවපීඩනය, මානසික ආතතිය, සමාජ භීතිකාව, ප්‍රචණ්ඩකාරී හැසිරීම, අධ්‍යාපනය බිඳ වැටීම සහ නොයෙකුත් පෞරැෂ භින්නතාවයන්ට ගොදුරු වීමයි. කුඩා කල අපයෝජනයට ලක්වන දරුවන්ගෙන් 80%ක් අවු. 21 වන විට කිසියම් ‍හෝ මානසික රෝගී තත්ත්වයකට ගොදුරු විය හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත.

මානසික, ශාරීරික හෝ ලිංගික අපයෝජනයට ලක්වන දරුවකු මෙසේ නොයෙකුත් පෞරුෂ ගැටලුවලට ගොදුරු වන්නේ ඇයිදැයි අපි තව දුරටත් සොයා බලමු. 

බොහෝ ජාත්‍යන්තර සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ අපයෝජනයට ලක්වන දරුවන්ගෙන් වාර්තා වන්නේ 10%ක් පමණ සංඛ්‍යාවක් බවයි. එනම් 90%ක් දරුවන් නොයෙකුත් ආකාරයට අපයෝජනය වී එය කාලයේ වැලිතලාව මත වැළලී යන බවයි. මීට හේතුව බොහෝ දෙනා තුළ ඇති විශ්වාස, ආකල්ප සහ බයයි. ලිංගිකව අපයෝජනයට ලක්වන දරුවකු ගැන බලමු. දෙමාපියන් බොහෝ විට මේ සිද්ධි පැමිණිලි ලෙස ඉදිරිපත් කරනුයේ පොලීසියටය. පොලීසිය තුළින් කරන විභාගයකදී මෙය මුළු ගමම දැනගනී. ඉන්පසු මෙම දරුවා ලිංගික අතවරයට පත්වූවකු ලෙස හංවඩු ගැසේ. මෙය එම දෙමාපියන්ට සහ දරැවාට දැඩි මානසික පීඩනයකි. ඒ සමඟම මෙම සිද්ධිය උසාවියක නඩු මගට ගියවිට දරුවා තවත් පීඩනයට ලක්වේ. ලිංගික අතවරයට ලක්වීමෙන් ඇතිවුණු පීඩනයට අමතරව සමාජය තුළින් ඇතිවන මෙම පීඩනය ද හේතු කොට ගෙන එම දරැවා සැබැවින්ම මානසික රෝගී තත්ත්වයකට ගොදුරු විය හැකිය. මෙවැනි අත්දැකීමකට ගොදුරු වූ එක් දරුවකුගේ පුංචි කතාවක් අධ්‍යයනය කර බලමු. අපි ඇයට උපුලි කියමු.

උපුලිගේ වයස අවු. 14යි. උපුලි 5 ශිෂ්‍යත්වය සමත් වී මාතර ප්‍රදේශයේ කුඩා පාසලක සිට කොළඹට  පැමිණ ප්‍රධාන පාසලකට ඇතුළු වී ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරමින් සතුටින් සිටි දැරියකි. කොළඹදී නැවතී සිටියේ ඇගේ පුංචි අම්මාගේ ගෙදරය. පුංචි අම්මාට ද දරුවන් දෙදෙනෙක් සිටියාය. ඔවුන් දෙදෙනා සමඟ ද උපුලි හිතවත්කමින් කෙළි කවටකමින් කාලය ගෙව්වාය. පුංචි අම්මා මේ අතර ඇයව ළඟම පිහිටි අමතර පංතියකට යොමු කළේ ඉංග්‍රී ඉගෙනගැනීමටය. මෙසේ පංතියට ටික කලක් යනවිට ඇයගේ හැසිරීම ද වෙනස් විය. මට තවත් ඉංග්‍රීසි පංතියට යන්න බෑ. කියා ඇය ඇඬුවාය. ඇයට නිතරම හිසේ කැක්කුමක් ද ඇතිවිය. නිතර තරහා යාමට පටන්ගත් උපුලී සමාජ ආශ්‍රය ද අඩු වී නිතරම කාමරයට වී කාලය ගත කළේය. පුංචි අම්මාගේ දරු දෙදෙනා සමඟ සෙල්ලම් කිරීම ද අඩු විය. කෑමට ඇති ආශාව මෙන්ම නින්ද යාමද අඩු විය. අවසාන වාර විභාගයේදී විෂයයන්ට ඉතා අඩු ලකුණු ලබාගෙන තිබුණි. උපුලිගේ මෙම වෙනස්වීම පිළිබඳව පුංචි අම්මා පුදුමයට පත් විය. ඉතා සතුටින් හොඳින් ඉගෙනගනිමින් සිටි මේ දරැවාට කුමක් සිදු වුණිදැයි සිතා අතිශයින්ම දුක් විය. මෙසේ මාස කීපයක් ගෙවී යනවිට උපුලි ඉංග්‍රීසි පන්ති ගිය ගුරුවරයාගේ බිරිඳ පුංචි අම්මාට කියූ කතාවෙන් ඇය පුදුමයට මෙන්ම කලබලයට පත්විය. එම ගුරැවරයාගේ බිරිඳ පවසා ඇත්තේ තවත් උපුලිව ඉංග්‍රීසි පන්තියට නොයවන ලෙසත් ඇගේ සැමියා නොයෙකුත් ලිංගික පින්තූර පරිගණකය ආශ්‍රයෙන් උපුලිට පෙන්වන බව ඇය දෑසින් දුටු බවත් තවත් දිනක් ඇය හදිසියේම පන්ති කාමරයට යනවිට තම සැමියා උපුලිගේ පියයුරු මෙන්ම රහස් ප්‍රදේශය ද අල්ලමින් සිටින බවත්ය. මින් අතිශයින්ම කලබලයට පත් උපුලිගේ පුංචි අම්මා ළඟම පොලීසියට ගොස් පැමිණිලි කළාය. ඉන්පසු පොලීසිය උපුලිගෙන් ද කටඋත්තර ලබාගෙන ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට ගත්තේය. මෙම සිද්ධිය උපුලිගේ නෑදෑයන් අතර මෙන්ම ඉගෙනගන්නා පාසැල අතර ද පැතිර ගියේය. ඉංග්‍රීසි ගුරුවරයාගේ ලිංගික අතවරය නිසා පීඩනයට පත්ව සිටි මේ දරුවාගේ පීඩනය තවත් වැඩි වී මානසික අවපීඩන තත්ත්වයට ගොදුරු වී ජීවිතය ද එපා වී ජීවිතය නැති කරගැනීමට තැත් කර රෝහල්ගත වීමට සිදුවූයේ අධිකරණ ක්‍රියාදාමය සිදුවන අතරතුරය.

මෙම සිද්ධිය අධ්‍යයනය කිරීමේදී අපට පෙනෙන්නේ මෙම පුංචි දරුවා එක් වරක් ලිංගික අතවරයටත් නීතිමය ක්‍රියාමාර්ගයට බැසීම නිසා දෙවැනි වරත් දැඩි මානසික අපයෝජනයට භාජනය වී ඇති බවය. මෙය අපේ රටේ සාමාන්‍යයෙන් ලිංගික අපයෝජනයට පත්වන දරැවකු අධිකරණ ක්‍රියාමාර්ගයට යොමු වනවිට ලබන අභාග්‍යයකි.

දරුවකු මානසික, ශාරීරික හෝ විශේෂයෙන් ලිංගික අපයෝජනයකදී ඔවුන්ගේ වේගයෙන් වර්ධනය වෙමින් පවතින මොළයේ ස්නායු පද්ධතියට හානි වන බව අති සියුම් ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙම සොයා ගැනීම් සඳහා ප්‍රධාන ස්කෑන් පරීක්ෂණ වර්ග තුනක් භාවිතා කරනු ලැබේ.

1. F.M.R.I - මෙම ස්කෑන් පරීක්ෂණයේදී මොළය තුළ රැධිරයේ ඔක්සිජන් සහ රැධිර ගමනාගමනය වෙනස් වන ආකාරය සියුම් ලෙස සොයාගත හැකිය.

2. D.T.I - මෙම ස්කෑන් පරීක්ෂණයේදී ස්නායු පද්ධතියේ සිදුවන නොයෙකුත් ව්‍යූහාත්මක වෙනස්කම් මැන බැලිය හැක.

3. E.R.P - මෙම ස්නායු පරීක්ෂනයේදී මොළය තුළ ස්නායු පද්ධතිය තුළ ඇතිවන නොයෙකුත් විද්‍යුත් ධාරාවන් මැන බැලිය හැක. එමෙන්ම පුද්ගලයකුගේ බුද්ධිමය පරිමාවන් ද මැන බැලිය හැක.

අපයෝජනයට ලත්වන දරුවකුගේ මොළය තුළ සිදුවන වෙනස්කම්

1. හිපොකැම්පස් කියන්නේ (Hippocampus) අපගේ මතක ධාරාවන් ගබඩා කරන සහ ඒවා පාලනය කරන මොළය තුළ ගැඹුරින් පිහිටා ඇති ඉතා කුඩා සංවේදී ඉන්ද්‍රියකි. F.M.R.I ස්කෑන් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ කුඩා කාලයේ අපයෝජනයට ලක්වන දරැවන් යම් දිනෙක වැඩිහිටියන් බවට පත් වූ විට මෙම හිපොකැම්පස් නැමති මධ්‍යස්ථානයේ පරිමාව අඩු වී එහි ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා මතක ශක්තිය සහ කල්පනා ශක්තිය අඩු වී නොයෙකුත් බුද්ධියේ ගැටලු ඇතිවන බවයි.

2. ඇමිග්ඩෙලා (Amygdala) කියන්නේ අප මොළයේ ඉතා ගැඹුරින් පිහිටි ඉතා කුඩා ඉන්ද්‍රියයක්. අපගේ භය, හැඟීම් පාලනය කිරීමට මෙම ඉන්ද්‍රිය අතිශයින් උපයෝගී වෙනවා. ළමා කාලයේ අපයෝජනයට ලක්වන දරුවන්ගේ මෙම ඉන්ද්‍රයේ ක්‍රියාකාරිත්වය වැඩි වී ක්ෂණිකව භයට පත්වන කලබලයට පත්වන හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි දරුවන් හෝ වැඩිහිටියන් බවට පත්වන බව සමීක්ෂණවලින් තහවුරු කර තිබේ.

3. අපගේ මොළයේ පූර්ව මස්තිශ්කයේ (නළලට ආසන්නයේ ඇති ලලාටකණ්ඩිකාව (prefrontal cortex) අපගේ මොළයේ විධායකය හෙවත් බුද්ධිමය කොටස ලෙස සොයාගෙන තිබේ. තීරණ ගැනීමට, ප්‍රශ්න විසඳාලීමට, හැඟීම් පාලනයට අවශ්‍ය ස්නායු පරිපථ මෙම ඉන්ද්‍රිය තුළ නිර්මාණය වන බව ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ කුඩා කල අපයෝජනයට පත්වන දරැවන්ගේ මෙම මධ්‍යස්ථානයේ පරිමාව අඩු වී බුද්ධිමත් හැකියාවන් හීන වී නොයෙකුත් පෞරැෂ ගැටලු ඇතිවිය හැකි බවය.

4. කෝපස් කැලෝසම් (Corpus Callosum) යනු මස්තිෂ්කයේ දකුණ සහ වම සම්බන්ධ කරන ස්නායු මධ්‍යස්ථානයයි. මොළයේ දකුණ සහ වම එකිනෙකට සම්බන්ධ කරමින් (හැඟීම්, සිතුවිලි ආදී සියලුම බුද්ධිමය හැකියාවන්) ඉතා සියුම් ලෙස අපිව පාලනය කරයි. ළමා කාලයේ අපයෝජනයට ලක්වන දරුවන්ගේ මෙම කෝපස් කැලෝසම් නමැති මධ්‍යස්ථානයට හානි වී එහි පරිමාව අඩු වී ක්‍රියාකාරීත්වය දුර්වල වන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත. මෙවැනි දරැවන් වැඩිහිටියන් වූ විට ඔවුන්ගේ බුද්ධිමය හැකියාවන් අඩු වී හැඟීම් පාලනය අපහසු වී නොයෙකුත් පෞරුෂ ගැටලුවලට ගොදුරු වේ.

හෙට රටේ අනාගතය අද ඔබේ දරුවාය. ඔහු සහ ඇය රැකගැනීම ඔබේ වගකීමයි.

-කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: