ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ලැබීම දරුවාගේ මානව හිමිකමකි.


ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධව පාසල් විෂය නිර්දේශයට හඳුන්වා දීමට නියමිතව තිබූ "හතේ අපේ පොත" සම්බන්ධව බරපතල විවේචනයක් මහාචාර්ය ධූරයක් දරන සහ ප්‍රසිද්ධියේ දේශපාලනයට සම්බන්ධ හිමිනමක විසින් කර තිබුණි. පසුගිය කාලවලදී දක්නට ලැබුණේ මනුෂ්‍ය ලිංගිකවත්වය සම්බන්ධයෙන් දේශපාලනඥාගේ අවිධිමත් මැදිහත් වීම වුව ද, දැන් දැන් ලිංගිකත්වය පාරාජිකාවක් වූ භික්ෂූන් වහන්සේලා පවා ඒ ගැන කතා කිරීමට පටන් ගෙන තිබේ.

පසුගිය කාල සීමාව තුළදී පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය මගින් සම්පූර්ණ විය යුතු මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගික ආස්වාදය හා ජීවන කුසලතා යනාදිය ඉගෙනගැනීම ශ්‍රී ලංකාවේ දරුවන්ට අහිමිකර තිබුණි. පාසල් දරුවන්ට ලබාදෙන ලිංගික අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත අයවළුන් නිසා ඔවුන් උත්සාහ කරන්නේ සෞඛ්‍ය නිර්ණායකවලට අනුකූලව තමන්ගේ ඉලක්ක සපුරා ගැනීම පමණි. දරුවන්ගේ කුසලතාවන් හෝ, එකිනෙකාට ගරුකිරීම හෝ පිළිබඳ තැකීමක් ඔවුන්ට නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාරය සහිතව එක්තරා වකවානුවක ‘උදාවූ යෞවනය’ නම් ලිංගික අධ්‍යාපනය සම්බන්ධ කෘතියක් පාසල් වලට බෙදා දී තිබුණි. මෙම පාඩම් ඉගැන්වීම ගුරුවරුවන් විසින් ප්‍රතික්ෂේප කළේ දරුවන් ඉදිරියට ගොස් ලිංගිකත්වය සම්බන්ධ සමහර මාතෘකා කතා කිරීමට තරම් ශක්තියක් ඔවුන්ට නැතැයි පවසමිනි. විශේෂයෙන් ලිංගික ක්‍රියාකාරකම්, ආරක්ෂිත ලිංගික සම්බන්ධතා, ශුක්‍රානු හා ඩිම්බ නිෂ්පාදනය වීම යනාදී සංවේදී මාතෘකා ඉගැන්වීමේදී පිරිමි දරුවන් විසින් නොමනා ලෙස හැසිරෙන බවත්, විවිධ ශබ්ද නගන බවත් පවසා බොහෝ ගුරුවරියෝ එම පාඩම් ඉගැන්වීම ප්‍රතික්ෂේප කළහ. එමෙන්ම දෙමව්පියන්ද , එවකට පැවති රජයට හා අධ්‍යාපන බලධාරීන්ට අම්මා මුත්තා මතක් කර බැණ වැදුනේ ඔවුන්ගේ දරුවන් පාසල් එවන්නේ කුණුහරුප ඉගෙනගැනීමට නොවන බව පවසමිනි. අවසානයේ සිදුවූයේ උදාවූ යෞවනය උදාවීමටත් ප්‍රථමයෙන් කුණු බක්කියට වැටීමය. පසුකාලීනව එය පාසලේ පුස්තකාලය තුළ උනු කැවුම් මෙන් කියවෙන හා අන් අයට හොරෙන් කියවන කාම කෘතියක් බවට පත්වූයේ සමස්ත තරුණ පරපුරම ලිංගිකත්වය ගැන අඹමල් රේණුවක දෙයක් නොදන්නා ලිංගික කුහකයින් බවට පත් කරවමිනි. පාසල තුළ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දිය නොහැක්කේ ඇයි? යන ප්‍රශ්නයට බොහෝ කාලයක් තිස්සේ අපි විසඳුම් සොයමින් සිටින්නෙමු. පසුගිය සතියක මැදවච්චිය ප්‍රදේශයෙන් පැමිණ සිටි ගුරු උපදේශිකාවක් මට හමුවිය. පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ සැසියකදී ඇය පැවසූයේ වෙනත් ගුරු පරීක්ෂකවරුන් පාසල් නිරීක්ෂණය කිරීමට පැමිණෙන විට විදුහල්පති තුමා හා ගුරුවරුන් අකමැති නමුත් ඇය පාසල් නිරීක්ෂණයට පැමිණෙන තුරු සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයය උගන්වන ගුරුවරියන් බලා සිටින බවයි. එයට හේතුව එම ගුරුවරියන්ට ඉගැන්වීමට අපහසු ඇතැම් සංවේදී මාතෘකා ගුරු උපදේශකවරිය ලවා දරුවන්ට ඉගැන්වීමට හැකිවීම නිසාය. නමුත් ගුරු උපදේශක තුමිය පවා පැවසූයේ තවමත් ඇයට පවා උපත් පාලන කොපු භාවිතා කිරීම, අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැලකීමේ ක්‍රම වැනි මාතෘකා ප්‍රසිද්ධියේ දරුවන්ට ඉගැන්විය නොහැකි බවයි.
නව යෞවන වියේ පසුවෙන දරුවන්ට අත්‍යවශ්‍යම වන ලිංගික අධ්‍යාපනය ලබාදීමට ගුරුවරුන් මෙතරම් බිය වන්නේ ඇයි? බොහෝ විට මෙයට හේතුව ලිංගිකත්වය සම්බන්ධව ඔවුන් තුළද නිසි දැනුමක් නොමැතිවීම විය හැකිය. එසේත් නැතිනම් ලිංගිකත්වය යනු දොර වසාගෙන කළ යුතු හා වැටවල් මායිම් වල සිට කතා කළ යුතු මාතෘකාවක් වන නිසා විය යුුතුය.එසේත් නැතිනම් සංස්කෘතික වාරණ හා සමාජ සදාචාර කඩතුරාවලින් ඔවුන්ද වැසී ඇති නිසා විය යුතුය. යෞවනයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී බොහෝ විට අසන්නට ලැබෙන ප්‍රශ්න කිහිපයක් හා ඒවාට ලබාදිය හැකි පිළිතුරු කිහිපයක් මෙම සටහන මගින් සාකච්ඡා කිරීමට තීරණය කළේ පසුගිය කාලය තුළ අප විසින් වෙහෙස මහන්සි වී ගනු ලැබූ උත්සාහයක් වතුරේ යැවීමට චීවරධාරීන්ට ඉඩ ලබා දිය යුතු නැති නිසාය.

ප්‍ර: නව යෞවන වියේ පසුවෙන ප්‍රජාවට ලිංගිකත්වය ඉගැන්වීම මගින් ඔවුන් ලිංගික ක්‍රියාවන්හි යෙදීමට පොළඹවනවාද? එය නොදැනුවත්ව සිදුවෙන ගැබ්ගැනීම් හා ලිංගිකව සම්ප්‍රේෂණය රෝගවලට අත වැනීමක්ද?

පි: නැත. තරුණ ප්‍රජාවට ඔවුන්ගේ ශරීරය, ලිංගිකත්වය හා සම්බන්ධතා ඉගැන්වීම මගින් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සම්බන්ධයෙන් ‘ආරක්ෂාකාරී’ විය යුතු බවයි. එමෙන්ම තරුණ ප්‍රජාවට පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදුන් පසුව ඔවුන් ඉක්මන් ලිංගික අත්දැකීමක් වෙනුවෙන් ක්‍රියාත්මක වූ බවට සාක්ෂ්‍ය නැත. පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ ගුණාත්මක ලිංගික අධ්‍යාපනයක් ලැබූ තරුණ ප්‍රජාව ඔවුන් ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීමේදී උපත් පාලන කොපු පැළඳීමට හා උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමට පෙළඹෙන බවයි. තවද, ලිංගික අධ්‍යාපනය ලැබීම මගින් තරුණ ප්‍රජාවගේ ආත්ම අභිමානය ගොඩනැංවෙන අතර ස්වයං ධාරිතාවය වර්ධනය වී ආකල්ප, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හා සමාජ ධර්මතා පිළිබඳ පවතින මිත්‍යාවන් වෙනස් කරගනී.
තරුණ ප්‍රජාවට ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනය ලබාදීම මගින් ඇතිවිය හැකි ධනාත්මක බලපෑම් පිළිබඳ පැහැදිලි උදාහරණ පවතී. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය යනාදියේ නිරීක්ෂණයෙන් සිදුකරන ලද ව්‍යාපෘති මගින් පැහැදිලි වන්නේ එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවූ ප්‍රදේශවල ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අවම කිරීමට, අපේක්ෂා නොකරන ලද ගැබ්ගැනීම් ප්‍රවනතාවන් අවම කිරීමට හැකිවූ බවයි. ලිංගික අධ්‍යාපනය මගින් තරුණ ප්‍රජාවට ලිංගික ක්‍රියාකාරකම් කිරීමට ඉක්මන් කරවනවා නොව ආරක්ෂිත ලිංගික චර්යාවන්හි යෙදීමට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම ලබාදේ. විශේෂයෙන් පාසල් පදනම් කරගෙන සිදුකරන ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් මගින් එච්.අයි.වී සම්බන්ධ දැනුම වැඩිකරන අතරම, ලිංගික ක්‍රියාවලියකදී ආරක්ෂිත කොන්ඩමයක් පැළඳීමේ වැදගත්කමද කියා දේ. එපමණක් නොව ලිංගික ක්‍රියාකාරකම් වලින් බැහැර වීමට හා එවැනි ආරාධනාවන් ප්‍රතික්ෂේප කිරීමට පවා අවශ්‍ය දැනුම ලබාදීමද, උපත් පාලන ක්‍රම ගැන සිතීමටද, ලිංගික සහකරුවන් ප්‍රමාණය සීමා කරගැනීමට මෙන්ම පළමු ලිංගික සංසර්ගයේ යෙදීම වෙනුවෙන් නිසි වයස පැමිණෙන තුරු ඉවසා සිටීමට අවශ්‍ය පන්නරය ලබාදීමද ලිංගික අධ්‍යාපනය මගින් සිදුකරයි.

ප්‍ර: දෙමව්පියන් විසින් ඔවුන්ගේ දරුවන්ට පාසලේදී හෝ නිවසින් පරිබාහිර ස්‍ථානයකදී ලිංගික අධ්‍යාපනය ලබාදීම ප්‍රතික්ෂේප කරනවාද?

පි: විවිධ කටකතා හා කේළම් පතුරුවන සමහර කණ්ඩායම්වලට රැවටුණු කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙමව්පියන් ඔවුන්ගේ දරුවන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් සහයෝගය පළ කරයි. මෙහිදී පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් සංවිධානය කරන අයට පැවසිය යුත්තේ ලිංගික අධ්‍යාපන වැඩසටහන් වඩාත් ප්‍රතිඵලදායී කරගනු පිණිස, හා ලිංගික අධ්‍යාපනය මගින් ලබාදෙන දැනුම ආරක්ෂිතව ගොඩනංවනු පිණිස එම වැඩසටහන් සඳහා දෙමව්පියන්ද සම්බන්ධ කරගන්නා ලෙසයි. ඔබ පාසලේදී කුමනාකාරයේ ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනයක් ලබාදුන්නද, තරුණයා සම්බන්ධ වන්නේ පවුල ඇතුළු මහා සමාජය සමග නිසා තරුණයාට අමතරව අඩුම තරමේ ඔවුන්ගේ දෙමව්පියන්ද පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයෙන් පෝෂණය කළ යුතුය.

මෑතකදී චීනයේ පැවැත්වූ සමීක්ෂණයකදී සහභාගී වූ අයගෙන් 90% ක් පමණ වන දෙමව්පියන් පැවසූයේ දරුවන්ට පාසල මගින් ලිංගික අධ්‍යාපනය ලබාදීම ඔවුන් ඉතා සතුටින් අනුමත කරන බවයි. ඔවුන්ට අනුව දරුවන් සමග සමහර සංවේදී කාරණා සාකච්ඡා කිරීමට ඔවුන්ටද නොහැකි අතර ඒ සඳහා සුදුසුම අය වන්නේ ගුරුවරුන් වන බවයි. පවුල් සැලසුම්කරණය, ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීමේදී ආරක්ෂා වීම, මාසික ඔසප් චක්‍රය හා ආර්තවය යනාදිය පිළිබඳව ඉගැන්වීමේ හොඳම පිරිස වන්නේ ගුරුවරුන් වන බවයි. යුරෝපයේ හා දකුණු අප්‍රිකාවේදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව 60% කට වඩා වැඩිහිටියන් විසින් වයස අවුරුදු 12-14 ත් අතර තම දරුවන්ට කොන්ඩම් භාවිතය පිළිබඳ ඉගැන්විය යුතු බව පවසන ලදී.

ප්‍ර: ප්‍රාථමික ශ්‍රේණිවල සිටින දරුවන්ට පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා ඔවුන් කුඩා වැඩිද?

පි: එක්සත් රාජධානියේ මෑතකදී සිදුකළ සමීක්ෂණයකට අනුව සොයාගනු ලැබුවේ පාසලෙන් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාගැනීමට ප්‍රථමව ප්‍රාථමික වයසේදීම වැඩිවියට පත්වූ ගැහැණු ළමුන් සිටින බවයි. විශේෂයෙන් විවිධ හෝමෝන වර්ග දමා නිෂ්පාදනය කරනු ලබන කෙටි කෑම වේලවල් ළමයින් වැඩි වශයෙන් ආහාරයට ගැනීමේ ප්‍රවනතාව එන්න එන්නම වැඩිවන නිසා ප්‍රාථමික වයසේදීම ගැහැණු ළමයින් වැඩිවියට පැමිණීමේ සම්භාවිතාවක් පවතී. දරුවන් හා නව යොවුන් වියට එළඹීමට සූදානම් දරුවන්ට තම ශරීරවල සිදුවිය හැකි වෙනස්කම්, හෝමෝන රටාවන් වෙනස්වීම යනාදිය පිළිබඳ ඉගෙනගැනීමේ අයිතිය පවතී. එහිදී සිදුකළ යුත්තේ ප්‍රාථමික වයසේ සිටින දරුවන්ට ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනය ලබානොදී සිටීම නොව ඔවුන්ගේ වයස් සීමාවේදී ඔවුන් දැනගත යුතුම කරුණු නිර්මාණශීලීව හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහතිව කියා දීමයි. උදාහරණ වශයෙන් වයස අවුරුදු 9-10 කාල සීමාව යනු දරුවන්ගේ මනෝ සංවර්ධන අවධීන්හි වැදගත් අවධියක් වන නිසා ඔවුන්ගේ පෞරුෂය සංවර්ධනය වන කාලසීමාව වන නිසා ලිංගික අධ්‍යාපනය තුළට ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා කියා දිය හැකිය. මව හා පියා විසින් නිවසේදී සිදුකරන කාර්යයන් ඔවුන්ට අඳින්නට හෝ වගුගත කරන්නට දී එම කාර්යයන් වෘත්තීමය වශයෙන් සිදුකරන ශිල්පි ශිල්පිනියන් හඳුන්වා දෙමින් ඔවුන් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්ව අදහස් කුඩා කාලයේදීම ඇති කළ හැකිය. බෙදාහදාගැනීම, අන්‍යෝන්‍ය විශ්වාසය හා වගකීම සම්බන්ධ දේවල් ඔවුන් තුළ රෝපණය කළ හැකිය.
පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි වයස අවුරුදු 10-14 වැනි වයස්වල පසුවෙන දරුවන්ට ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනය ලබාදීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතුය. එයට හේතුව ඔවුන් ළමා අවධියේ සිට නව යොවුන් විය දක්වා පරිවර්තනය වන සංක්‍රාන්ති අවධියේ සිටින නිසා නිවැරදි දැනුම සමග, ආකල්ප කුසලතා යනාදියද ඔවුන් තුළ රෝපණය කළ යුතුය. විශේෂයෙන් තාක්ෂණය, ජංගම දුරකථන, අන්තර්ජාලය යනාදියට දරුවන් විවෘත වන අවධිය මෙම කාලසීමාවයි. ඔවුන් අන්තර්ජාලය මගින් අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹන්නේ හෝ, විවිධ ලිංගික අත්දැකීම් ලබාගැනීමට පෙළඹෙන්නේ හෝ මෙම වයස් සීමාවේදී ඇතිවන කුතුහලය හා දේවල් අත්හදා බැලීමේ හා අත්දැකීම් ලබාගැනීමට ඇති කැමැත්ත නිසාය. මේ නිසා දරුවන්ට ප්‍රාථමික අවධියේදීම ඔවුන්ගේ මනසට ගැලපෙන ආකාරයට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතුවේ. විශේෂයෙන් සයිබර් අවකාශය හරහා සිදුවන විවිධ ඡායාරූප හුවමාරුවීම, දරුවන් ජාවාරම් කිරීම, කුට්ටනයට ලක්කිරීම හා දරුවන් රවටා විවිධ අපයෝජන සඳහා යොදාගැනීම වළක්වා ගැනීමට නම් ඔවුන්ට නිවරැදි ආකාරයට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතුමය.
මීට අමතරව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායකවලට අනුව ලිංගික අධ්‍යාපනය ලබාදීම ආරම්භ කළ යුත්තේ පූර්ව ළමා වියේදීය. එමගින් අදහස් වන්නේ දරුවන්ට ලිංගික ක්‍රියාකාරකම් ගැන ඉගැන්විය යුතුය යන්න නොවේ. අඩුම තරමේ ලිංගික වශයෙන් සිදුවිය හැකි විවිධ අපචාර පිළිබඳ හෝ ඔවුන් දැනුවත්ව සිටිය යුතුය. නොදන්නා පිරිමින්ගෙන් හා ගැහැණුන්ගෙන් ආරක්ෂා වීම, ඔවුන් විසින් විවිධ ආකාරයෙන් සිදුකළ හැකි ස්පර්ශ කිරීම් යනාදියෙන ‍පළා යන ආකාරය පිළිබඳ දරුවන් කුඩා කාලයේ සිටම දැනගත යුතුය. පූර්ව ළමා විය, නව යොවුන් විය හා තරුණ විය යනාදී ලෙස පියවරෙන් පියවරට ලිංගික අධ්‍යාපනය ලබාදීම මගින් වඩාත් පරිපූර්ණ හා සාර්ථක ජන සමාජයක් ගොඩනැගිය හැකි බව මෙම නිර්ණායක මගින් පවසයි.

ප්‍ර: ලිංගික අධ්‍යාපනය ලබාදීම වැනි මාතෘකා දරුවන්ට සුඛෝපභෝගී මාතෘකා නොවේද? මීට වඩා අවධානය යොමුකළ යුතු වෙනත් ප්‍රශ්න නැද්ද?

පි: ජනගහණ හා සංවර්ධන කොමිසම වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් දක්වන ආකාරයට සියලුම රජයන් විසින් අනිවාර්යයෙන්ම පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය දරුවන් වෙත ලබාදිය යුතුය. පරිපූර්ණ ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනයක් ලබාගැනීම යනු තරුණ ප්‍රජාව රටේ පුරවැසියන් ලෙස අභිමානයෙන් ජීවත්වීමට අවශ්‍ය දැනුම ලබාගැනීමකි. එමෙන්ම සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරුවලින් සන්නද්ධ වීමකි. එමෙන්ම බොහෝ අය සිතා සිටින පරිදි ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනය ලබාදීමක් යනු කුණුහරුප ඉගැන්වීම පමණක්ම නොවේ. එමගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් සමාන ආකාරයට එකිනෙකාට ගෞරව කිරීමට මිනිසුන් ඉගෙන ගනී. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ දැනුවත්වෙමින් තමන් ආරක්ෂා වන අතරම තම යහළු මිත්‍රාදීන් ආරක්ෂා කරගනී.
ලිංගික අධ්‍යාපනය ලබාදීම ශ්‍රී ලංකාව වැනි රටක අභියෝගාත්මක වී ඇත්තේ ඉහතින් දක්වා ඇති ආකාරයේ ප්‍රශ්න ජනතාව තුළ පවතින නිසාය. එහෙත් ඉහතින් දක්වා ඇති ආකාරයේ පිළිතුරු තේරුම්ගැනීමට හෝ, තෝරාගැනීමට මිනිසුන් සබුද්ධික වන්නේ නැත. රටක් වශයෙන් අප පළමුවෙන්ම සිදුකළ යුත්තේ ලිංගිකත්වය පිළිබඳ ඉගෙනගන්නා තරුණ ප්‍රජාවක් බිහිකිරීමට පෙර සබුද්ධික වැඩිහිටියන් පිරිසක් නිර්මාණය කරගැනීමයි.

අවසර, මහාචාර්ය ස්වාමීන් වහන්ස, පිරිමි ළමයින් දූෂණය කිරීම් සම්බන්ධව ලංකාවේ උසාවි වල ගොනුකර ඇති නඩුවල වැඩියෙන්ම චූදිතයින් වී ඇත්තේ බුද්ධපුත්‍රයන් වහන්සේලා බව අමතක නොකරන්න.

එච්.අයි.වී ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට පරීක්ෂා කරගැනීමට හා ප්‍රතිකාර ලබා ගැනීමට බුද්ධපුත්‍රයන් වහන්සේලා අප හමුවීමට කලිසම් ඇඳගෙන පැමිණෙන බව මතක් කිරීමට කැමතිය.

ව්‍යාජ ෆේස්බුක් අකවුන්ට්ස් හදාගෙන මැසේන්ජර් හරහා වීඩියෝ කෝල්ස් ගන්නා අයවළුන් අතර නයියන්ඩි වන්නම පෙන්වන භික්ෂූන් වහන්සේලා ද සිටින බව අමතක නොකරන්න.

උන්වහන්සේලාටද පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුය. ඒ නිවැරදි ලිංගික චර්‍යාවන් හා සෞඛ්‍ය පුරුදු ගැන ඉගැන්වීමට මිස උන්වහන්සේලාට සෙක්ස් කිරීමට උනන්දු කිරීමට නොවේ.

තුෂාර මනෝජ්


This is the one and only positive sex educational website in south asia and written in Sinhala [සිංහල], Tamil [தமிழ்] and Urdu [ हिन्दी] languages.

0 comments: